සෞදි අරාබියේ මරණ දඬුවමට නියම වූ ලාංකිකයාට සමාව ලබාගැනීමට රජයෙන් උපරිම රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

කොළඹ | සෞදි අරාබියේදී මරණ දඬුවමට නියම වී ඇති බවට වාර්තා වන ශ්‍රී ලාංකිකයෙකු වන සිවරාසා අනෝජන් මහතාට සමාවක් ලබාගැනීම හෝ ඔහුට නියම වී ඇති දඬුවම හැකිතාක් අඩුකර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිය උපරිම උත්සාහය දරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු විදේශ අමාත්‍යාංශය වෙත ලැබීමෙන් අනතුරුව, සෞදි අරාබි බලධාරීන් සමඟ අවස්ථා කිහිපයකදී සාකච්ඡා සිදුකර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

විදේශ අමාත්‍යවරයාගේ මඟපෙන්වීම යටතේ විදේශ අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් අඛණ්ඩව කටයුතු කරමින් සිටින අතර, අදාළ ශ්‍රී ලාංකිකයා වෙනුවෙන් නීතිමය සහාය ලබාදීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද මැදිහත්ව ඇති බව සඳහන් වේ.

එමෙන්ම, මෙම කටයුතු සම්බන්ධයෙන් විශේෂ නිලධාරියෙකුද යොදවා ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ, විදේශ රටක සිදුවීමක් සම්බන්ධයෙන් මැදිහත්වීමේදී එම රටේ පවතින නීති හා අධිකරණ ක්‍රියාපටිපාටිවලට ගරු කරමින් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජයට සිදුවන බවයි.

කෙසේ වෙතත්, සිවරාසා අනෝජන් මහතාට සමාවක් ලබාගැනීම හෝ ඔහුට නියම වී ඇති දඬුවම හැකිතාක් අඩුකර ගැනීම සඳහා කළ හැකි සියලුම රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් සිදුකරමින් සිටින බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

“අපි පුළුවන් තරම් උත්සාහ කරනවා, ඔහුට සමාවක් ලබාගැනීමට. දඬුවම පුළුවන් තරම් අඩුකර ගැනීමට. ඒක තමයි රජයේ අපේක්ෂාව. ඒ වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කරන්න පුළුවන් හැමදේම මේ මොහොතෙදිත් විදේශ අමාත්‍යවරයාගේ මෙහෙයවීමෙන් විදේශ අමාත්‍යාංශය කරමින් ඉන්නවා.”

විදේශගතව සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් සම්බන්ධයෙන් ඇතිවන මෙවැනි සංවේදී අවස්ථාවලදී, අදාළ රටේ නීතිමය රාමුවට ගරු කරමින් ශ්‍රී ලාංකික පුරවැසියන්ට අවශ්‍ය කොන්සියුලර් සහ නීතිමය සහාය ලබාදීම සඳහා රජයේ ආයතන මැදිහත්වීම සිදුකරන බවද මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *