www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
සංචාරක පුරවරයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට ප්‍රතිචක්‍රීකරණ බහාලුම්.
සංචාරක ආකර්ෂණය දිනාගත් සුන්දර නුවරඑළිය නගරයේ පාරිසරික සුන්දරත්වය ආරක්ෂා කරමින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීමේ අරමුණින් ජාතික ලොතරැයි මණ්ඩලය විසින් රුපියල් ලක්ෂ පහක වටිනාකමින් යුත් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි නොදිරන අපද්‍රව්‍ය බහාලුම් නුවරඑළිය මහ නගර සභාව වෙත පරිත්‍යාග කිරීම අද (04) පෙරවරු 10.00ට නුවරඑළිය මහ නගර සභා පරිශ්‍රයේදී සිදු කෙරිණි.
ජාතික ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ ‘රාජ්‍ය ආයතනයකින් තවත් රාජ්‍ය ආයතනයකට අත්වැලක්’ යන තේමාවෙන් මෙම පරිත්‍යාගය සිදු කෙරිණි.
නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතාගේ සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්යක්ෂ සී. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට නුවරඑළිය නාගරික කොමසාරිස් විජයකෝන් බණ්ඩාර, නාගරික ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂක කිත්සිරි හේරත්, නාගරික මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන්, ජාතික ලොතරැයි මණ්ඩලයේ මහනුවර හා නුවරඑළිය කලාප කළමනාකරු කැලුම් කරුණාතිලක සහ නුවරඑළිය අලෙවි ප්‍රවර්ධන නිලධාරී මධුර බණ්ඩාර යන මහත්වරු එක්ව සිටියහ.
මෙහිදී අදහස් දක්වමින් ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්යක්ෂ සී. ගමගේ මහතා සහ නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතා සඳහන් කළේ සංචාරක ආකර්ෂණය දිනාගත් නුවරඑළිය නගරය පරිසර හිතකාමී නගරයක් බවට පත් කිරීමේ අරමුණින් කසළ කළමනාකරණය වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බවයි.
රටේ ප්‍රධාන සංචාරක ගමනාන්තයක් වන නුවරඑළිය නගරයේ පිරිසිදුකම සහ ස්වභාවික පරිසරයේ සුන්දරත්වය ආරක්ෂා කර ගැනීම නගර සභාවට පමණක් සීමා වූ වගකීමක් නොවන අතර, නගරයට පැමිණෙන සංචාරකයන්, වෙළෙඳ ප්‍රජාව සහ ප්‍රදේශවාසීන් ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය ඒ සඳහා අත්‍යවශ්‍ය බව ද මෙහිදී පෙන්වා දෙන ලදී.
නොදිරන අපද්‍රව්‍ය අවිධිමත්ව බැහැර කිරීමෙන් නගරයේ පිරිසිදුකමට මෙන්ම පාරිසරික සුන්දරත්වයට ද හානි සිදුවිය හැකි බැවින්, අපද්‍රව්‍ය නිසි ලෙස වෙන්කර අදාළ බහාලුම්වලට බැහැර කිරීමේ පුරුද්ද ජනතාව අතර ප්‍රචලිත කිරීම මෙවැනි වැඩසටහන්වල වැදගත් අරමුණක් වේ.
සංචාරක පුරවරයක් ලෙස නුවරඑළිය සතු වටිනාකම තවදුරටත් සුරක්ෂිත කරමින් පිරිසිදු හා සෞඛ්යාරක්ෂිත පරිසරයක් අනාගත පරපුරට දායාද කිරීම සඳහා රාජ්‍ය ආයතන අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙම වැඩසටහන මගින් අවධාරණය කෙරිණි.
