සමෘද්ධි සංවර්ධන  නිලධාරීන් 360 දෙනකු  ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

bbcmirror.lk

මේ පිළිබඳ තොරතුරු තහවුරු වීමෙන් පසු නිලධාරීන් හැත්තෑහත්දෙනකු සේවයෙන් පහකර ඇත. තවත් විසිදෙනෙකු පනත ප්‍රකාරව වන්දි ලබාගැනීමේ එකඟතාවයෙන් සේවයෙන් ඉවත්ව තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් අතුරින් දහතුන්දෙනකු හා විශ්‍රාම ලැබූ නිලධාරීන් දෙදෙනකු ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර එම පත්වීම් ලබාගෙන තිබූ බවට විගණන අංශ නිරීක්ෂණය කර ඇත.

ව්‍යාජ ප්‍රතිඵල සටහන් සකස් කිරීම හා ඉදිරිපත් කිරීම 1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනත සහ ආයතන සංග්‍රහයේ දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස දැක්වුණද ඊට එරෙහිව කටයුතු කර නොතිබුණ බව එම වාර්තාව සඳහන් කරයි.

ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කළ මෙම නිලධාරීන් සම්බන්ධයෙන් වසරේදී නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවද ජාතික විගණන කාර්යාලය පවසයි.

රාජ්‍ය සේවයේ කිසියම් තනතුරකට යම් තැනැත්තකු පත්කිරීම් බලධාරියාට සාවද්‍ය තොරතුරු හෝ ව්‍යාජ කූට ලේඛන ඉදිරිපත් කර ඇති බව අනාවරණය වූ විටෙක එම පත්වීම් වහාම අවලංගු කර ඒ තනතුරු ශූන්‍ය හා බල රහිතකර ඒ වන විටත් වැටුප් හා දීමනා වශයෙන් රජය ගෙවා ඇති සියළුම මුදල් එම නිලධාරීන්ගෙන් අයකර ගතයුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටි රීති සංග්‍රහයේ පැහැදිලිව දැක්වෙන්නේ යැයි විගණන නිලධාරීහු පවසති.

මේ තොරතුරු සඳහන් වන්නේ සමෘද්ධි දෙපාර්තමේන්තුවේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය. මෙම වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *