www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
ප්‍රසිද්ධ පාසලකට සති දෙකක නිවාඩු! : චෝදනාවට නගරාධිපතිවරයාගෙන් පිළිතුරු
නුවරඑළිය මහ නගර සභාවේ විධිමත් පාලනයක් හා නිසි අධීක්ෂණයක් නොමැතිවීම හේතුවෙන් ජල නළයක් කැඩී ඇතිවූ සුළු නායයෑමේ තත්ත්වයක් නියමිත වේලාවට පාලනය කිරීමට පියවර නොගැනීමෙන් ප්‍රසිද්ධ පෞද්ගලික පාසලකට පිවිසෙන මාර්ගය මුළුමනින්ම කඩා වැටී ඇතැයි නුවරඑළිය සුරැකීමේ සංවිධානය චෝදනා කරයි.
මෙම මාර්ගය කඩා වැටීමෙන් අනතුරුව සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් අදාළ පාසලට සති දෙකක නිවාඩුවක් ලබාදීමට සිදුව ඇති අතර, එමගින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බරපතළ බාධාවක් එල්ල වී ඇතැයි එම සංවිධානයේ නියෝජිතයන් වන දිනේෂ් ලංකා ගී ගැනගේ සහ නාලක දිනේෂ් රත්නායක මහත්වරු පවසති.
ඔවුන් පෙන්වා දෙන්නේ මාර්ගයේ ජල නළයක් කැඩී පස් සෝදාගෙන යෑම ආරම්භ වූ අවස්ථාවේදීම අදාළ බලධාරීන් මැදිහත්ව අවදානම් ප්‍රදේශය ආරක්ෂා කර අවශ්‍ය හදිසි ප්‍රතිකර්ම යෙදුවේ නම් මෙවැනි මට්ටමේ මාර්ග කඩා වැටීමක් වළක්වා ගැනීමට හැකියාව තිබූ බවයි.
“ජල නළයක් කැඩී පස් සෝදාගෙන යන තත්ත්වයක් ඇති වූ අවස්ථාවේදීම අදාළ බලධාරීන් නිසි අවධානය යොමු කළ යුතුව තිබුණා. එය කුඩා හානියක්ව තිබියදී පාලනය නොකිරීම නිසා අද විශාල ගැටලුවක් බවට පත්ව තිබෙනවා. මෙය හුදෙක් මාර්ගයක් කැඩී යෑමක් පමණක් නොවෙයි. පාලනයේ සහ වගකීමේ අඩුපාඩුවක් පිළිබඳ ප්‍රශ්නයක්” යැයි ඔවුහු චෝදනා කරති.
මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම අත්‍යවශ්‍ය වුවද ඒ වෙනුවෙන් පාසලක අධ්‍යාපන කටයුතු සති දෙකකට නතර කිරීම සාධාරණ විසඳුමක් නොවන බවද ඔවුහු පවසති. කොන්ත්‍රාත්කරුගේ පහසුව මත පාසලේ අධ්‍යාපන කාලසටහන තීරණය නොකළ යුතු බවත්, දරුවන්ගේ ඉගෙනුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමට විකල්ප ක්‍රමවේද සකස් කිරීම අදාළ පාර්ශ්වවල වගකීමක් බවත් ඔවුහු අවධාරණය කරති.
නිවාඩු කාලය තුළ මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) පන්ති පැවැත්වීමට පාසල කටයුතු කර තිබුණද එම ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාත්මක නොවන බවටද ඔවුහු චෝදනා කරති. සෑම දරුවකුටම සමාන අන්තර්ජාල පහසුකම්, අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ සුදුසු ඉගෙනුම් පරිසරයක් නොමැති විය හැකි බැවින් මාර්ගගත අධ්‍යාපනය පමණක් විකල්පයක් ලෙස යොදාගැනීමෙන් සියලු දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලිය හැකිද යන්න පිළිබඳවද ඔවුහු ප්‍රශ්න කරති.
දරුවන්ගේ අධ්‍යාපනය යනු අන්තර්ජාලය ඔස්සේ පාඩම් ලබාදීමකට පමණක් සීමා නොවන බව පෙන්වා දෙන ඔවුහු, ගුරුවරුන් සමඟ සජීවී අන්තර්ක්‍රියා, ප්‍රායෝගික ඉගෙනුම් කටයුතු මෙන්ම දරුවන්ගේ මානසික හා සමාජීය වර්ධනයද අධ්‍යාපන ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංග බව සඳහන් කරති.
පෞද්ගලික පාසලක් වුවද දරුවන්ගේ අධ්‍යාපනයට සෘජුව බලපාන මෙවැනි තීරණ ගැනීමේදී විධිමත් සැලසුම් සහ වගකීම් සහගත ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවත්, දරුවන්ගේ අධ්‍යාපන අයිතියට හානි වන ආකාරයේ තීරණ තම සංවිධානය දැඩිව හෙළා දකින බවත් ඔවුහු ප්‍රකාශ කරති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නුවරඑළිය නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ ද්විත්වා සුළි කුණාටුව හේතුවෙන් අර්ධ වශයෙන් හා පසුව මුළුමනින්ම හානියට පත්වූ අදාළ පාසලට පිවිසෙන ප්‍රධාන මාර්ගය නුවරඑළිය මහ නගර සභාව සතු අතුරු මාර්ගයක් බවයි.
එම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මාස ගණනාවක් පුරා ටෙන්ඩර් කැඳවුවද මාර්ගයේ පවතින දුෂ්කරතා හේතුවෙන් කිසිදු කොන්ත්‍රාත්කරුවකු ඉදිරිපත් නොවූ බවත්, පසුව එක් සමාගමක් එම කොන්ත්‍රාත්තුව භාරගෙන පසුගිය ඔක්තෝබර් මාසයේදී ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ බවත් නගරාධිපතිවරයා සඳහන් කළේය.
අදාළ සමාගම විසින් ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා මාස තුනක කාලයක් ඉල්ලා ඇති බැවින් ලබන ජනවාරි මාසයේ පාසල් ආරම්භ වන විට මාර්ගය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර භාරදීමට හැකි වනු ඇතැයිද ඔහු පැවසීය.
මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුවන කාලය තුළ පාසල් දරුවන්ට බාධාවකින් තොරව පාසලට පැමිණීම සඳහා විකල්ප මාර්ග සකස් කරගත හැකි බව පෙන්වා දුන් නගරාධිපතිවරයා, පාසල පවත්වාගෙන යෑම හෝ නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ අදාළ පාසලේ කළමනාකාරීත්වය බවත්, එම තීරණ සම්බන්ධයෙන් නගරාධිපතිවරයා වශයෙන් තමන්ට වගකීමක් භාරගත නොහැකි බවත් ප්‍රකාශ කළේය.
මාර්ගය ප්‍රතිසංස්කරණය සඳහා අධික මුදලක් වැය කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ ඔහු, මහ නගර සභාවේ අරමුණ අවම වියදමකින් ඉහළ ප්‍රමිතියකින් යුත් ඉදිකිරීමක් සිදුකිරීම බවත්, ඉංජිනේරුවන්ගේ හා තාක්ෂණ නිලධාරීන්ගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදුකරන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
මාර්ගය කඩා වැටීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා වගකිව යුතු පාර්ශ්ව හඳුනාගන්නා ලෙසත්, මාර්ගය කඩිනමින් හා ආරක්ෂිතව ප්‍රතිසංස්කරණය කර පාසලේ සාමාන්‍ය අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් නුවරඑළිය සුරැකීමේ සංවිධානයේ නියෝජිතයෝ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.


