බොරැල්ල මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ බන්ධනාගාර නිලධාරියකු රුපියල් මිලියන 2 කට වැඩි මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට 

www.bbcmirror.lk

www.Lankawebnews.lk 

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද මෙම මෙහෙයුමේදී ‘අයිස්’ (ක්‍රිස්ටල් මෙතඇම්ෆෙටමීන්) ග්‍රෑම් 100 ක් සහ හෙරොයින් ග්‍රෑම් 20 ක් සොයාගෙන ඇත.

පොලිසිය සඳහන් කළේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු මත්ද්‍රව්‍ය සමඟ ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම විමර්ශනය ආරම්භ කළ බවයි.

ප්‍රශ්න කිරීම් අතරතුර, දැනට මැගසින් බන්ධනාගාරයේ දඬුවම් විඳිමින් සිටින රැඳවියෙකුගෙන් වට්ස්ඇප් ඇමතුමක් ඔස්සේ ලැබුණු ස්ථානයකට අනුව තමන් මෙම මත්ද්‍රව්‍ය පාර්සලය ලබාගත් බව අදාළ සැකකරු පවසා ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගය බොරැල්ල, වනත පාර ප්‍රදේශයේදී වෙනත් පුද්ගලයකු වෙත භාරදීමට නියමිතව තිබූ බවද වාර්තා වේ.

ලැබුණු තොරතුරු මත ක්‍රියාත්මක වූ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ ඇතුළු කණ්ඩායමක් ක්ෂණික සූදානමින් අදාළ ස්ථානයේ නිලධාරීන් යොදවා රහසිගත මෙහෙයුමක් දියත් කර තිබේ.

බන්ධනාගාර ක්‍රීඩා ඇඳුමින් සැරසී පැමිණි අදාළ බන්ධනාගාර නිලධාරියා පළමු සැකකරුගෙන් මත්ද්‍රව්‍ය පාර්සලය ලබාගන්නා අවස්ථාවේදීම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් නිලධාරියා තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙකි. ඔහු ඉකුත් ජනවාරි මාසයේදී මැගසින් බන්ධනාගාරයට අනුයුක්ත කර ඇති අතර ඊට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සේවය කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

මෙම මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *