වාරික නොගෙවූ බව කියමින් වෑන් රථයක් රැගෙන යාමට ගිය දෙදෙනාගෙන් අයෙක් නානුඔය පොලිස් දැලේ

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

ලීසිං පැමිණිල්ලක් තිබූ පමණින් හිමිකරුගේ වාහනයක් හිතුමතේ රැගෙන යා නොහැකියි – සිද්ධිය ගැන විමර්ශන

නුවරඑළිය බ්ලැක්ෆූල් ප්‍රදේශයේ මාර්ගය අයිනේ නවතා තිබූ වෑන් රථයක් එහි හිමිකරුගේ අවසරයකින් තොරව රැගෙන යමින් සිටි බව කියන පුද්ගලයන් දෙදෙනකුගෙන් අයකු අද (31) නානුඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

වාරික නොගෙවීම හේතුවෙන් අදාළ වාහනය අත්පත් කරගැනීම සම්බන්ධයෙන් මීට පෙර නානුඔය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ පාර්ශ්වයකට සම්බන්ධ මෙම සිද්ධිය සම්බන්ධයෙන්, වාහනය රැගෙන යාමේදී අනුගමනය කළ නීතිමය ක්‍රියාපටිපාටිය පිළිබඳවද විමර්ශන සිදුකෙරේ.

බ්ලැක්ෆූල් ප්‍රදේශයේ තම නිවස ආසන්නයේ ප්‍රධාන මාර්ගය අයිනේ නවතා තිබූ වෑන් රථය පුද්ගලයන් දෙදෙනකු විසින් රැගෙන යන බවට හිතවතකුගෙන් ලද දුරකථන ඇමතුමක් අනුව තමන් වහාම එම රථය පසුපස ලුහුබැඳ ගිය බව වෑන් රථයේ හිමිකරු වන මොහොමඩ් අස්රෆ් මහතා පැවසීය.

ඔහු පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව නුවරඑළිය – හැටන් ප්‍රධාන මාර්ගයේ ෆාමස්ටන් ප්‍රදේශයේදී වෑන් රථය සමඟ එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූ බවද වාර්තා වේ.

තම වාහනය අත්පත් කරගැනීමට ලීසිං ආයතනයෙන් කිසිදු ආකාරයක දැනුම්දීමක් සිදුකර නොතිබූ බව පවසන අස්රෆ් මහතා, තම අවසරයකින් තොරව වාහනය රැගෙන යාම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසද ඉල්ලා සිටියේය.

මේ අතර, අදාළ වාහනයේ වාරික නොගෙවීම හේතුවෙන් එය අත්පත් කරගැනීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍ය බව සඳහන් කරමින් අදාළ පාර්ශ්වය නානුඔය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බව අනාවරණය වී තිබේ.

මේ පිළිබඳව නානුඔය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ජේ.කේ.එන්. විජේරාම මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, වාහනය අත්පත් කරගැනීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බවයි.

එහිදී වාහනයේ හිමිකරු සමඟ සාකච්ඡා කර ඔහුගේ කැමැත්ත මත වාහනය අත්පත් කරගැනීමට කටයුතු කරන ලෙස අදාළ පාර්ශ්වයට උපදෙස් ලබාදුන් බවත්, එහෙත් හිමිකරු දැනුවත් කිරීමකින් තොරව වාහනයේ යතුරු කඩා හෝ වෙනත් ආකාරයකින් රැගෙන යාම සම්බන්ධයෙන් නීතිමය පියවර ගත හැකි බවත් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු වෑන් රථයද සමඟ අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුද අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

වාහන අත්පත් කරගැනීමේදී නීතිය ක්‍රියාත්මක විය යුතු ආකාරය

මූල්‍ය කල්බදු ක්‍රමය යටතේ ලබාගත් වාහනයක වාරික නොගෙවීම හේතුවෙන් එය නැවත අත්පත් කරගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය 2000 අංක 56 දරන මූල්‍ය කල්බදු පනතේ 27 සහ 28 වගන්ති මගින් පැහැදිලි කර තිබේ.

ඒ අනුව, අදාළ පනත යටතේ වාහනයක් අත්පත් කරගැනීමට හිමිකම ඇති බදුදෙන්නකුට නීතියෙන් නියම කර ඇති ක්‍රියාපටිපාටියට යටත්ව වාහනය නැවත ලබාගැනීමට හැකියාව පවතී. එහිදී වාහනය පවතින ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ඒ බව දැනුම්දී, සාමය කඩවීම වැළැක්වීම සඳහා පොලිස් සහාය ලබාගත හැකිය.

කෙසේ වෙතත්, වාහනයේ භාරය සාමකාමීව ලබාගත නොහැකි නම් හෝ ඊට විරෝධයක් එල්ල වන්නේ නම්, බලහත්කාරයෙන් වාහනය රැගෙන යාම වෙනුවට අදාළ දිසා අධිකරණයෙන් නියෝගයක් ලබාගැනීමේ නීතිමය මාර්ගය පවතී.

ශ්‍රී ලංකා මහ බැංකුවද මූල්‍ය කල්බදු යටතේ වාහන අත්පත් කරගැනීම සම්බන්ධයෙන් පැහැදිලි කර ඇත්තේ, අදාළ නීතිමය කොන්දේසි යටතේ සාමකාමීව භාරය ලබාගැනීමට නොහැකි අවස්ථාවලදී අධිකරණ ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවයි.

එහෙත් සෑම වාහන මූල්‍ය ගනුදෙනුවක්ම මූල්‍ය කල්බදු ගිවිසුමක් නොවන බැවින්, අදාළ වාහනයේ ගිවිසුමේ ස්වභාවය අනුව අදාළ නීතිය තීරණය කිරීමද වැදගත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *