www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න (ආර්එස්පී යූඑස්පී එන්පීඑස් පීඑස්සී) 2026 අගෝස්තු මස 01 වන දින සිට බල පැවැත්වෙන පරිදි ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 26 වන යුද්ධ හමුදාධිපති ලෙස පත් කර ඇත.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉකුත්දා (31) පස්වරුවේ ඔහු වෙත භාරදෙන ලදී.
මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයේ ආදි සිසුවකු වන නව යුද්ධ හමුදාධිපතිවරයා 1990 වසරේ කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වන ලදී. අනතුරුව දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨය වෙතින් මූලික යුද පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් පසු දෙවන ලුතිනන්වරයෙකු ලෙස 1992 වර්ෂයේදී අධිකාරියට පත්ව ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවට අනුයුක්ත වන ලදී.
ඔහු කැලිෆෝනියාවේ නාවික පශ්චාත් උපාධි පාසලෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද හිමි කරගෙන ඇත.
වසර 36 ක යුද්ධ හමුදා සේවා කාලය තුළ දෙස් විදෙස් විවිධ වෘත්තීය සහ විශේෂඥ පුහුණු පාඨමාලා රැසක් හදාරා ඇති නව යුද්ධ හමුදාධිපතිවරයා මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතභාවය වෙනුවෙන් රණශූර පදක්කම දෙවරක් ද යුද්ධ හමුදා රාජකාරියේදී දැක්වූ විශිෂ්ටත්වය අගයමින් උත්තම සේවා පදක්කම ද හිමි කර ගෙන ඇත.
