www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
විවෘත විශ්වවිද්‍යාලය හා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව සංවිධානය කරයි
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සංවිධානය කරන ලද ජාතික තරුණ සංවර්ධන පර්යේෂණ සමුළුව සැප්තැම්බර් 16 වැනිදා ආරම්භ විය.
මෙම සුවිශේෂී අවස්ථාවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන විෂය භාර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වී සමුළුව නිල වශයෙන් ආරම්භ කළාය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු සම්භාවනීය ආරාධිතයන් සහභාගී වූ අතර, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී. එම්. සී. තිලකරත්න මහතා විසින් සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වන ලදී.
විද්වත් පිරිසක් සහ තරුණ පර්යේෂකයන් එක්වෙති
මෙම පළමු ජාතික තරුණ පර්යේෂණ සමුළුව සඳහා විවිධ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, සම්පත්දායක විද්වත් වෘත්තිකයන් සහ පර්යේෂකයන් මෙන්ම විශ්වවිද්‍යාල උපාධි අධ්‍යයනවල නිරත නවක විද්‍යාර්ථීන්ද එක්ව සිටියහ.
එමෙන්ම පර්යේෂණ වැඩමුළුවලට සහභාගී වූ පර්යේෂකයන්, පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කළ විද්‍යාර්ථීන් සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ නියෝජිතයන් ද මෙම සුවිශේෂී අවස්ථාවට එක්විය.
තරුණ ගැටලු විද්‍යාත්මකව හඳුනාගැනීම පිළිබඳ අවධානය
සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය තරුණ පරපුර මුහුණ දෙන ගැටලු විද්‍යාත්මකව හා තිරසාර ලෙස හඳුනාගැනීමේ වැදගත්කම අවධාරණය කළාය.
තරුණයින් මුහුණදෙන ගැටලු පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ මත පදනම් වූ මාර්ගෝපදේශ සහ නිර්දේශ ලබාදිය හැකි ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවද ඇය පෙන්වා දුන්නාය.
තරුණ පරපුරේ අභියෝග, අවශ්‍යතා සහ අනාගත අපේක්ෂාවන් පිළිබඳ පර්යේෂණාත්මක අවධානය යොමු කරමින්, තරුණ සංවර්ධනය සඳහා ප්‍රායෝගික හා තිරසාර විසඳුම් හඳුනාගැනීම මෙම ජාතික පර්යේෂණ සමුළුවේ ප්‍රධාන අරමුණක් ලෙස සැලකේ.
ශ්‍රී ලංකාවේ තරුණ සංවර්ධනය පිළිබඳ පර්යේෂණ හා ප්‍රතිපත්ති සම්බන්ධතාව ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස මෙම ජාතික පර්යේෂණ සමුළුව හඳුන්වා දිය හැකිය.
