මන්නාරම මහ රෝහලේ නව හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදිනී – ෆාතිමා සෆාන්

මන්නාරම: මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීමේ කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාවට වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් ඉන්දීය රජයේ ප්‍රදානයක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා වැය කිරීමට නියමිත මුදල රුපියල් මිලියන 600කි.

නව හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය නවීන වෛද්‍ය පහසුකම් රැසකින් සමන්විත වන අතර, එහි ඉදිකිරීම් 2028 වසරේ පළමු කාර්තුව වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් අනතුරුව මන්නාරම සහ අවට ප්‍රදේශවල ජනතාවට හදිසි අනතුරු ප්‍රතිකාර මෙන්ම විශේෂඥ සෞඛ්‍ය සේවා ලබාගැනීම සඳහා කොළඹ ඇතුළු ප්‍රධාන නගර වෙත දුර ගමන් කිරීමට සිදුවීම අවම වනු ඇත.

ඒ සමඟම මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය උපකරණ, මානව සම්පත් සහ අනෙකුත් පහසුකම් වැඩිදියුණු කිරීමටද රජය පියවර ගනිමින් සිටී.

ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රෝහල් කාර්ය මණ්ඩලය සමඟ සුහද කතාබහකද නිරත විය.

මන්නාරම සෞඛ්‍ය සේවාව තවදුරටත් පුළුල් කරනවා – සෞඛ්‍ය අමාත්‍ය

උත්සව සභාව අමතමින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ මන්නාරම ඉදිරියේදී ජාතික ආර්ථිකයට වැදගත් දායකත්වයක් ලබාදෙන ප්‍රදේශයක් බවයි.

ප්‍රවාහන පහසුකම් සහ සංචාරක කර්මාන්තය වර්ධනය වීමත් සමඟ මන්නාරමට පැමිණෙන දේශීය හා විදේශීය ජනතාවගේ සංඛ්‍යාව ඉහළ යා හැකි බැවින්, එම ජනතාව සඳහා ශක්තිමත් සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම වැදගත් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

2028 වසරේ පළමු කාර්තුව වන විට නව හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ජනතා සේවයට එක් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

මීට අමතරව මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන් සඳහා රුපියල් මිලියන 243ක වියදමින් මහල් හතරකින් යුත් නිල නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට නියමිත අතර, එහි කටයුතු වසර එකහමාරක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

රුපියල් මිලියන 230ක වියදමින් ඉදිකිරීමට නියමිත නව ළමා රෝග ඒකකයේ ඉදිකිරීම්ද මෙම වසර තුළ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම මන්නාරම ජනතාව දිගු කලක් ඉල්ලා සිටි CT ස්කෑනර් යන්ත්‍රය ලබන වසරේ පෙබරවාරි මාසය පමණ වන විට රෝහලට ලබාදීමට කටයුතු කරන බවත්, ඒ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 250කට ආසන්න බවත් අමාත්‍යවරයා පැවසීය.

රෝහලේ ගොඩනැගිලි හා උපකරණ පහසුකම් සංවර්ධනය කරන අතරම අවශ්‍ය වෛද්‍ය, හෙද සහ පරිපූරක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ලබාදීමටද පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.

මන්නාරම රෝහලට ඉතිහාසයේ පළමු වරට සීමාවාසික වෛද්‍යවරුන් අනුයුක්ත කර ඇති බවත්, තවත් සීමාවාසික වෛද්‍යවරුන් පිරිසක් ඔක්තෝබර් මාසයේදී ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම ඔක්තෝබර් 31 වනදා නව හෙදියන් 2,600ක් බඳවා ගැනීමට නියමිත අතර, එයින් කොටසක් මන්නාරම රෝහලට ලබාදීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

ඉන්දීය සහාය පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ඉදිරියට යමින් සිටින බවයි.

උතුරු පළාත ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශවල සංවර්ධනය සඳහා ජනාධිපතිවරයා දක්වන අවධානය ඉන්දීය රජය අගය කරන බවද ඔහු පැවසීය.

මන්නාරම හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා වූ ගිවිසුම ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ අත්සන් කළ බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාද මෙම සහයෝගීතාව සඳහා විශේෂ අවධානයක් යොමු කළ බවත් මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස්වල යහපැවැත්ම සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් ඉන්දීය රජය ශ්‍රී ලංකා රජය සමඟ ඉදිරියටත් කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය.

මන්නාරමට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් වැදගත් – සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ රෝහල්ගතවීම් සඳහා දශක ගණනාවක් පුරා තුවාල හා අනතුරු ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.

භූගෝලීය වශයෙන් යම් හුදකලාභාවයක් පවතින මන්නාරම දිස්ත්‍රික්කයට කඩිනමින් ප්‍රවේශ විය හැකි නොමිලේ සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් තිබීම ඉතා වැදගත් බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙම වසරේ සිට මන්නාරම රෝහල සඳහා ආධුනික වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කිරීම ආරම්භ කර ඇති බවත්, CT ස්කෑනර් යන්ත්‍රයක් ලබාදීමේ කටයුතුද මේ වන විට සිදුකරමින් පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.

ඉදිරියේදී මන්නාරම රෝහලේ විකිරණවේද පහසුකම්ද තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි වනු ඇතැයි ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය සේවාවට නව පියවර රැසක්

රජය පසුගිය වසර දෙක තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 600කට වැඩි මුදලක් වෙන් කර ඇති බවද මෙහිදී සඳහන් විය.

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ පවතින සීමිත පහසුකම් මධ්‍යයේ වුවද ජනතාවට සේවය කිරීම සඳහා කැපවී සිටින වෛද්‍යවරුන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය ඇගයීමට ලක් කළ අමාත්‍යවරයා, ජනාධිපතිවරයා මෙම අවස්ථාවට සහභාගී වීම ඔවුන්ගේ සේවයට කරන ගෞරවයක් ලෙස සැලකිය හැකි බවද පැවසීය.

මෙම අවස්ථාවට මන්නාරම දිස්ත්‍රික් රදගුරු ඥානප්‍රගාසම් ඇන්තනිපිල්ලෙයි රදගුරුතුමා, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා, මන්නාරම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා, ආරක්ෂක අංශ ප්‍රධානීන්, සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, යාපනයේ ඉන්දීය කොන්සල් කාර්යාලයේ කොන්සියුලර් ජනරාල් සායි මුරලි එස්. මහතා ඇතුළු නිලධාරීන් සහ මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු කාර්ය මණ්ඩලය එක්ව සිටියහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *