ග්‍රෙගරි වැවේ “බිහිසුණු බෝට්ටු අනතුරේ” ඇත්ත කතාව එළියට :  

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

“එන්ජිමෙන් දුමක් නැඟුණු නිසා බෝට්ටුව පෙරළුවේ දරුවන් දෙදෙනාගේ ජීවිත බේරා ගැනීමටයි” — පැදිකරු කසුන් ලක්මාල්

පසුගිය 16 වැනිදා නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජල ක්‍රීඩාවක නිරතව සිටි දරුවන් දෙදෙනෙකු ගමන් කළ ජෙට් ස්කී බෝට්ටුවක් පෙරළී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ පළ වූ ඇතැම් වාර්තා පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා එම බෝට්ටුව පැදවූ කසුන් ලක්මාල් මහතා සහ ග්‍රෙගරි වැවේ බෝට්ටු සංගම් එකමුතුවේ නියෝජිතයන් සහභාගි වූ විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (19) පෙරවරුවේ ග්‍රෙගරි වැව පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ අනතුරට ලක් වූ බෝට්ටු පැදිකරු කසුන් ලක්මාල් මහතා සඳහන් කළේ,

තමන් විසින් බෝට්ටුව අනාරක්ෂිත ලෙස පෙරළීමක් සිදු නොකළ බවත්, බෝට්ටුවේ එන්ජිමෙන් හදිසියේ දුමක් නිකුත් වීම හේතුවෙන් දරුවන් දෙදෙනාගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා තමන්ට ලබාදී ඇති පුහුණුවට අනුව ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස බෝට්ටුව පෙරළීමට කටයුතු කළ බවත්ය.

බෝට්ටු පැදිකරුවන් සඳහා බලපත්‍ර ලබාදීමේදී ජීවිත ආරක්ෂාව, ප්‍රථමාධාර, බෝට්ටු ධාවනය හා තාක්ෂණික කරුණු ඇතුළු අංශ ගණනාවක් සම්බන්ධයෙන් පුහුණුව ලබාදෙන බවත්, එවැනි හදිසි තත්ත්වයකදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද එම පුහුණුවේදී දැනුවත් කරන බවත් කසුන් ලක්මාල් මහතා පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෙගරි වැවේ බෝට්ටු සංගම් එකමුතුව වෙනුවෙන් අදහස් දැක්වූ චතුරංග සඳරුවන් මහතා පැවසුවේ, ජෙට් ස්කී යනු කුමක්ද සහ ජල ක්‍රීඩාවකදී සිදුවිය හැකි සාමාන්‍ය ක්‍රියාකාරකම් මොනවාද යන්න පිළිබඳව නිසි අවබෝධයකින් තොරව ඇතැම් මාධ්‍ය වාර්තා පළ කර ඇති බවයි.

“පසුගිය 16 වැනිදා දරුවන් දෙදෙනෙකු ජල ක්‍රීඩාවක නිරතව සිටියදී ජෙට් ස්කී බෝට්ටුවක් පෙරළීමේ සිද්ධිය ඇතැම් මාධ්‍ය මගින් මහා පරිමාණ අනතුරක් ලෙස හුවා දැක්වීම නිවැරදි නොවේ. එම සිද්ධියේ සැබෑ ස්වභාවය සහ එම අවස්ථාවේ ඇති වූ තත්ත්වය නිසි ලෙස හඳුනාගෙන වාර්තා කිරීම මාධ්‍යයේ වගකීමක්” යැයි ඔහු පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙවැනි සිදුවීමක් පිළිබඳව සත්‍ය තත්ත්වය හඳුනා නොගෙන අතිශයෝක්තියෙන් වාර්තා කිරීමෙන් ජනතාව අතර අනවශ්‍ය බියක් මෙන්ම ජල ක්‍රීඩා සම්බන්ධයෙන් වැරදි අවබෝධයක්ද ඇතිවිය හැකි බවයි.

ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදවීම සඳහා අවසර ලබාදෙන සියලුම පැදිකරුවන්ට බලපත්‍රයක් තිබිය යුතු බවත්, ජීවිත ආරක්ෂාව, ප්‍රථමාධාර, බෝට්ටු තාක්ෂණය සහ හදිසි අවස්ථාවකදී ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළු කරුණු සම්බන්ධයෙන් ඔවුන් පුහුණු කර ඇති බවත් චතුරංග සඳරුවන් මහතා පැවසීය.

එමෙන්ම පුහුණුව හා අවසර නොමැති පුද්ගලයන්ට ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදවීමට අවසර නොමැති බවත්, බෝට්ටු ධාවනය සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් නිරන්තර අධීක්ෂණයක් සිදු කෙරෙන බවත් ඔහු සඳහන් කළේය.

ධාවනය කෙරෙන බෝට්ටු මෙන්ම ඒවායේ ගමන් කරන පුද්ගලයන් සඳහාද රක්ෂණ ආවරණයක් පවතින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

සිද්ධිය වූ ස්ථානයේ සිට කිලෝමීටර් එකහමාරකට පමණ දුරින් සිටි දරුවන්ගේ පියාට සිද්ධිය පිළිබඳව දැන ගැනීමටත් පෙර, බෝට්ටුව පෙරළුණු අවස්ථාවේදීම අවට සේවයේ නිරතව සිටි අනෙකුත් බෝට්ටු එම ස්ථානයට පැමිණි බවද චතුරංග සඳරුවන් මහතා පැවසීය.

බෝට්ටු සංගම් නියෝජිතයන් සහ ජීවිතාරක්ෂක කණ්ඩායම් වහාම එම ස්ථානයට පැමිණ දරුවන් දෙදෙනා ආරක්ෂිතව වෙනත් බෝට්ටුවකට නංවාගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සම්බන්ධයෙන්ද චතුරංග සඳරුවන් මහතා විවේචන එල්ල කළේය.

එම ඡායාරූප අතර සිද්ධියට අදාළ නොවන හෝ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයෙන් වෙනස් කරන ලද ඡායාරූප පවා තිබෙන බවට ඔහු චෝදනා කළ අතර, එවැනි දෑ භාවිතයෙන් සිද්ධිය වඩාත් බරපතළ ආකාරයෙන් ජනතාවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවද පැවසීය.

එමෙන්ම මෙම සිද්ධිය මහා පරිමාණ අනතුරක් ලෙස හුවා දැක්වීම පිටුපස වෙනත් අරමුණු තිබිය හැකි බවටද ඔහු චෝදනා කළේය. විශේෂයෙන්ම ග්‍රෙගරි වැවට නව බෝට්ටු ඇතුළත් කිරීමට අපේක්ෂා කරන පාර්ශ්වයන්ගේ දේශපාලනික අරමුණු ඉටුකර ගැනීම සඳහා මෙම සිද්ධිය භාවිත කර ඇති බවට සැකයක් පවතින බව ඔහු පැවසුවද, එම චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන තහවුරු කිරීමක් සිදු වී නොමැත.

සමස්ත සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් චතුරංග සඳරුවන් මහතා අවධාරණය කළේ, තමන්ගේ දැනුම හා පුහුණුව අනුව මෙය ජීවිත හානි සිදුවීමට ඉඩ තිබූ මහා පරිමාණ අනතුරක් නොව, හදිසි තත්ත්වයකදී ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ගත් ක්‍රියාමාර්ගයක් ලෙස සැලකිය යුතු බවයි.

බෝට්ටුව ධාවනය කරන අවස්ථාවේ එන්ජිමෙන් දුමක් නිකුත් වුවහොත් ජීවිත ආරක්ෂාව සඳහා බෝට්ටුව පෙරළීමට අදාළ පුහුණුව ලබාදී ඇති බවත්, එම පුහුණුවට අනුව කසුන් ලක්මාල් මහතා ක්‍රියා කිරීම පිළිබඳව බෝට්ටු සංගම් එකමුතුව ලෙස තමන් සතුටු වන බවත් ඔහු පැවසීය.

දරුවන් දෙදෙනා ආරක්ෂිතව බේරා ගැනීමට කටයුතු කළ බෝට්ටු පැදිකරු කසුන් ලක්මාල් මහතාට බෝට්ටු සංගම් එකමුතුව වෙනුවෙන් ස්තූතිය පළ කරන බවද චතුරංග සඳරුවන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *