අඩු ආදායම්ලාභී පවුලකට ‘හිසට සෙවණක්’ යටතේ නව නිවසක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘හිසට සෙවණක්’ නිවාස ව්‍යාපෘතිය යටතේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ෆාමස්ටන්–රත්නගිරිය ග්‍රාම නිලධාරී වසමේ පදිංචි අඩු ආදායම්ලාභී එස්.ඒ.ඩී.ඒ.ඩී. පෙරේරා මහතා, ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනාගෙන් සමන්විත පවුල සඳහා ඉදිකළ නව නිවස ප්‍රදානය කිරීම (18) දින ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂිකා උපේක්ෂා විජේසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

2024 වසරේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය යටතේ අමාත්‍යාංශය මගින් ලබාදුන් රුපියල් ලක්ෂයක මූල්‍ය ප්‍රතිපාදනයට අමතරව, ග්‍රාම සංවර්ධන ප්‍රාදේශීය බල මණ්ඩලයේ මෙහෙයවීමෙන් ග්‍රාම සංවර්ධන සමිති, පරිත්‍යාගශීලීන් සහ ප්‍රදේශවාසීන්ගෙන් එක්රැස් කරගත් මුදල් හා ශ්‍රම දායකත්වය මත මෙම නිවස ඉදිකර තිබේ.

ඒ සඳහා නුවරඑළිය ග්‍රාම සංවර්ධන ප්‍රාදේශීය බලමණ්ඩලයට අනුබද්ධ ග්‍රාමීය ග්‍රාම සංවර්ධන මණ්ඩලවලින් සහ පරිත්‍යාගශීලීන්ගෙන් එක්රැස් කරගත් මුදලින් පමණක් රුපියල් ලක්ෂ 9කට ආසන්න මුදලක් වැය කර ඇත.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා ආරක්ෂිත හා යහපත් නිවාස පහසුකම් සලසාදීම අරමුණු කරගත් මෙම ව්‍යාපෘතියේදී රාජ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සමඟ ප්‍රජා සහභාගීත්වය හා ශ්‍රම දායකත්වයද යොදාගනිමින් නිවාස ඉදිකිරීම සිදු කෙරේ.

නිවසේ ඉතිරි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ඉදිරියේදී ලබාදීමට ග්‍රාම සංවර්ධන ප්‍රාදේශීය බල මණ්ඩලය කටයුතු කරන බව සඳහන් විය.

නිවස ප්‍රදානය කිරීමේ වැඩසටහනෙන් අනතුරුව, නුවරඑළිය ප්‍රාදේශීය ග්‍රාම සංවර්ධන බල මණ්ඩලය මගින් ෆාමස්ටන්–රත්නගිරිය ග්‍රාම නිලධාරී වසම තුළ ක්‍රියාත්මක කර ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයක්ද මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂිකා උපේක්ෂා විජේසිංහ මහත්මිය විසින් නිරීක්ෂණය කර අධීක්ෂණය කළාය.

මෙම අවස්ථාවට නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ලහිරු කළුගම්පිටිය, නුවරඑළිය දිස්ත්‍රික් ග්‍රාම සංවර්ධන නිලධාරිනී දයානි කොහිලමුල්ල, නුවරඑළිය ප්‍රාදේශීය ග්‍රාම සංවර්ධන නිලධාරී කපිල බෝපිටිය, ප්‍රාදේශීය ග්‍රාම සංවර්ධන බල මණ්ඩලයේ සභාපති තුෂාර රාජපක්ෂ, හිටපු සභාපති පූජ්‍ය ගොඩිගමුවේ ධම්ම විමල හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය, නිලධාරීන්, පරිත්‍යාගශීලීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *