දකුණු ආසියානු කරාතේ ලෝකඩ දිනූ හෙසලිට ගිනිගත්හේනෙන් වීර පිළිගැනීමක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

බංග්ලාදේශයේ ඩකා නුවර පැවති 10 වැනි දකුණු ආසියානු කරාතේ ශූරතාවලියේ වයස අවුරුදු 21න් පහළ කාන්තා කිලෝග්‍රෑම් 68 කුම්තේ (Kumite) ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ශ්‍රී ලංකාවට, ගිනිගත්හේන ප්‍රදේශයට සහ සිය පාසලට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ හෙසලි බිමන්‍යා බණ්ඩාර ක්‍රීඩිකාවට අද (27) ගිනිගත්හේන ජනතාව සහ පාසල් ප්‍රජාව එක්ව උණුසුම් උපහාරයක් පිරිනැමූහ.

ගිනිගත්හේන නගරයට පැමිණි ඇය ප්‍රදේශවාසීන්ගේ අත්පොළසන් සහ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ පිළිගැනීමෙන් අනතුරුව විශේෂ රථ පෙළපාලියකින් නගරය වටා කැඳවාගෙන යනු ලැබීය.

පසුව ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයට රැගෙන ගිය ඇය හැටන් අධ්‍යාපන කලාප අධ්‍යක්ෂිකා එම්. සුමති මහත්මිය, කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන්, ගිනිගත්හේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විරාජ් විතානගේ මහතා, විදුහල්පතිනි එච්. එච්. මංගලිකා හේරත් මහත්මිය, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, හිටපු විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා, ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ දෙමාපියන්ගේ උණුසුම් හරසර මධ්‍යයේ පිළිගනු ලැබුවාය.

විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ පැවති උපහාර උත්සවයේදී ජාත්‍යන්තර තරග බිමේ ශ්‍රී ලංකාවට ගෞරවයක් අත්කර දුන් ඇයගේ දක්ෂතා ඇගයීමට ලක් කරමින් සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, පාසල් ආචාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍යයන්, දෙමාපියන් සහ විශාල ජනතාවක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *