බුලත්විට සමඟ දුම්කොළ අලෙවිය සිදු කරන පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

www.bbcmirror.lk

www.Lankawebnews.lk 

සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා අද (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, 2006 අංක 27 දරන දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනතට අනුව අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඔහු පැවසුවේ, 2016 සැප්තැම්බර් මාසයේ නිකුත් කළ ගැසට් නිවේදනයේ පළමු උපලේඛනය අනුව ශ්‍රී ලංකාව තුළ දුම් රහිත දුම්කොළ නිෂ්පාදන අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවයි.

මෙම නීතිය බුලත්විට අලෙවිකරුවන් අපහසුතාවට පත් කිරීම සඳහා නොව, ජනතාව මුඛ පිළිකා වැනි බරපතළ රෝගවලින් ආරක්ෂා කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද්දක් බවද උපුල් රෝහණ මහතා අවධාරණය කළේය.

වාර්ෂිකව ශ්‍රී ලංකාවේ මුඛ පිළිකා රෝගීන් 1,750ත් 1,900ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බැවින්, ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙම නීතිය යළිත් සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

ඒ අනුව, ඉදිරියේදී බුලත්විට සමඟ දුම්කොළ අලෙවිය සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නඩු පවරා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය දැනුම් දෙයි.

දුම්කොළ හා මධ්‍යසාර ජාතික අධිකාරි පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණයක වරදකරු වුවහොත් රුපියල් 2,000ක දඩයක් හෝ මාස හයක සිරදඬුවමක් නියම කළ හැකි බවද උපුල් රෝහණ මහතා පෙන්වා දුන්නේය.

සංස්කෘතික හේතු මත මෙතෙක් කාලයක් ජනතාව දැනුවත් කිරීම පමණක් සිදු කළද, ප්‍රමාණවත් කාලයක් ලබාදී ඇති බැවින් ඉදිරියේදී නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, දුම් සහිත දුම්කොළ නිෂ්පාදන අලෙවිය සඳහා පවතින නීතිමය අවසරවල කිසිදු වෙනසක් නොමැති බවද මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කළේය.

අස්වැසුම මුදල් වංචාව ගැන හදිසි අනතුරු ඇඟවීමක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *