www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්යවේදීනි ක්රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
ශ්රී ලංකා රේගුවේ මත්ද්රව්ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින් ඊයේ (26) දින අලුයම බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ (BIA) සිදුකළ වැටලීමකදී රුපියල් මිලියන 51ක් පමණ වටිනා කුෂ් (Kush) ගංජා කිලෝග්රෑම් 5.1ක් සමඟ 24 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වියට්නාම් ගුවන් සේවයට (Vietnam Airlines) අයත් VN671 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණි මෙම මගියා එදින අලුයම 1.15 ට පමණ ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ “හරිත මාවත” (Green Channel) ඔස්සේ පිටව යාමට උත්සාහ කර ඇත. එහිදී ඔහුගේ සැකකටයුතු හැසිරීම හේතුවෙන් රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් විසින් ඔහුව වැඩිදුර පරීක්ෂාව සඳහා රඳවා තබා ගන්නා ලදී.
පසුව එම මගියාගේ ගමන් මලු ගුවන් තොටුපළේ ස්කෑනර් යන්ත්ර මගින් පරීක්ෂා කිරීමේදී මතු වූ සැකය මත නිලධාරීන් විසින් ගමන් මලු සෝදිසි කර ඇත. එහිදී ගමන් මල්ල තුළ සඟවා තිබූ සැකකටයුතු ද්රව්ය අඩංගු මුද්රා තැබූ පොලිතින් පැකට් කිහිපයක් සොයාගෙන තිබේ. සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී ඒවා ග්රෑම් 5,100ක් (කිලෝග්රෑම් 5.1ක්) බරැති “කුෂ්” වර්ගයේ ගංජා බව තහවුරු වූ අතර, එහි ඇස්තමේන්තුගත වෙළෙඳපොළ වටිනාකම රුපියල් 51,000,000කට අධිකය.
ශ්රී ලංකා රේගුව විසින් සිදුකරන ලද මූලික විමර්ශනවලින් අනතුරුව, සැකකාර ඉන්දීය ජාතිකයා, අත්අඩංගුවට ගන්නා ලද මත්ද්රව්ය තොගය සහ අනෙකුත් නඩු භාණ්ඩ ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්රව්ය කාර්යාංශය (PNB) වෙත භාර දී ඇත.
