හැටන් මහජන වැසිකිළිය පිටාර ගලයි අපද්‍රව්‍ය දික්ඔයට, කාසල්රි ජලාශයටද?

2026.09.09

ආර්.එෆ්.එම්. සුහෙල් – නුවරඑළිය

වීඩියො – https://we.tl/t-cQka43DiK1ovMQdZ

හැටන් නගරයේ තරු චතුරස්‍ර භූමියේ පිහිටි මහජන වැසිකිළි පද්ධතිය දීර්ඝ කාලයක සිට නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් පිටාර ගැලීමෙන් එම ප්‍රදේශයේ වෙළෙඳුන්, නිවැසියන් සහ ජනතාව දැඩි දුෂ්කරතාවකට මෙන්ම සෞඛ්‍ය අවදානමකට මුහුණ පා සිටිති.

වෙළෙඳසැල් සහ නිවාස රැසකින් සමන්විත මෙම ප්‍රදේශයේ මහජන වැසිකිළියෙන් පිටවන අපද්‍රව්‍ය හේතුවෙන් දැඩි දුර්ගන්ධයක් හටගෙන ඇති අතර, මැසි මදුරුවන් ඇතුළු රෝග වාහක කෘමීන්ගේ ව්‍යාප්තිය ද ඉහළ ගොස් ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

ප්‍රදේශවාසීන් තවදුරටත් චෝදනා කරන්නේ වැසිකිළි පද්ධතියේ එකතු වන අපජලය සහ අපද්‍රව්‍ය ඇතැම් අවස්ථාවල අලුයම් කාලයේදී විවෘත පරිසරයට මුදාහැරෙන බවයි.

එම චෝදනාව සත්‍ය නම්, එය හුදෙක් සනීපාරක්ෂක ගැටලුවක් නොව මහජන සෞඛ්‍යයට සහ ජල පරිසරයට සම්බන්ධ බරපතළ පාරිසරික ගැටලුවක් බවට පත්වේ.

එලෙස මුදාහරින අපජලය නගරයේ කානු පද්ධතිය ඔස්සේ දික්ඔයට ගලා ගොස් අවසානයේ කාසල්රි ජලාශය වෙත එකතු වන්නේද යන්න පිළිබඳව අදාළ බලධාරීන් විසින් ස්ථානීය පරීක්ෂණයක් සහ ජල සාම්පල පරීක්ෂාවක් සිදු කළ යුතු බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

ශ්‍රී ලංකාවේ ජාතික පාරිසරික පනත අංක 47 දරන 1980 පනත සහ එහි සංශෝධන යටතේ අභ්‍යන්තර ජලයට අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ජල දූෂණය සම්බන්ධයෙන් නීතිමය පාලනයක් පනවා තිබේ. අදාළ නීතිමය ප්‍රතිපාදන යටතේ නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන ආකාරයෙන් අභ්‍යන්තර ජලයට අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව පවතී.

තවද, පරිසරයට අපජලය බැහැර කිරීම සම්බන්ධයෙන් අදාළ ප්‍රමිතීන් 2022 ජනවාරි 27 දිනැති ගැසට් අංක 2264/17 යටතේ දක්වා ඇති අතර, අභ්‍යන්තර මතුපිට ජලයට අපජලය හෝ effluent බැහැර කිරීම සඳහා ද සීමාවන් නියම කර තිබේ.

ඒ අනුව, තරු චතුරස්‍රයේ සිට අපජලය දික්ඔයට හෝ වෙනත් අභ්‍යන්තර ජල මාර්ගයකට බැහැර කිරීමක් සිදුවන්නේ නම්, එය නීතිමය ප්‍රමිතීන්ට අනුකූලද යන්න පරීක්ෂා කිරීම මධ්‍යම පරිසර අධිකාරියේ අවධානයට යොමු කළ යුතු කරුණක් බව ප්‍රදේශවාසීහු පවසති.

අනෙක් අතට, තරු චතුරස්‍රයේ මහජන වැසිකිළිය පවත්වාගෙන යාම, සනීපාරක්ෂාව සහ පොදු පහසුකම් සම්බන්ධයෙන් හැටන්–දික්ඔය නගර සභාවට මූලික වගකීමක් පැවරේ.

එබැවින් පිටාර ගලන වැසිකිළි වළවල් හෝ අපජල පද්ධතිය වහාම පරීක්ෂා කර, ගලීරථයක් (Gully Bowser) යොදා ඒවා හිස් කිරීම, ප්‍රදේශය විෂබීජහරණය කිරීම සහ අපජලය විවෘත පරිසරයට මුදාහැරීමක් සිදුවන්නේ නම් එය නතර කිරීම කඩිනමින් සිදු කළ යුතු බව ප්‍රදේශවාසීහු අවධාරණය කරති.

එමෙන්ම, අපද්‍රව්‍ය දික්ඔයට සහ කාසල්රි ජලාශයට ගලා යන බවට පවතින චෝදනාව සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය, හැටන්–දික්ඔය නගර සභාව සහ අදාළ සෞඛ්‍ය බලධාරීන් එක්ව ස්ථානීය පරීක්ෂණයක් සිදුකර ජල සාම්පල ලබාගෙන විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කිරීම කාලෝචිත බව ප්‍රදේශවාසීහු පවසති.

මහජන වැසිකිළියක් ජනතාවගේ පහසුව සඳහා ඉදිකර තිබියදී, එය නිසි නඩත්තුවකින් තොරව අවසානයේ මහජන සෞඛ්‍යයටත් පරිසරයටත් තර්ජනයක් වන අපද්‍රව්‍ය මූලාශ්‍රයක් බවට පත්වීම වැළැක්වීම බලධාරීන්ගේ වගකීමකි.

2026.09.09

ආර්.එෆ්.එම්. සුහෙල් – නුවරඑළිය

වීඩියො – https://we.tl/t-cQka43DiK1ovMQdZ

හැටන් තරු චතුරස්‍රයේ මහජන වැසිකිළිය පිටාර ගලයි – අපද්‍රව්‍ය දික්ඔයට, කාසල්රි ජලාශයටද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *