www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
කතානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ඇතුළු පාර්ලිමේන්තු වරප්‍රසාද සම්බන්ධ කරුණු කිහිපයක් වහාම සභාව හමුවේ මතු කිරීමට නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා අවසර ලබා නොදීමත් සමඟ අද (03) පාර්ලිමේන්තුව තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අදාළ කරුණු වහාම සභාවට ඉදිරිපත් කිරීමට අවස්ථාව ඉල්ලා සිටියද, ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේ අද පෙරවරු 9.00න් පසුව මන්ත්‍රීවරුන් කිහිපදෙනකු විසින් ඉදිරිපත් කරන ලද වරප්‍රසාද සම්බන්ධ ලිපි තමන් වෙත ලැබී ඇති බවයි.
එම ලිපි සහ ඉල්ලීම් පිළිබඳව තවමත් සම්පූර්ණ අධ්‍යයනයක් සිදුකර නොමැති බැවින්, ඒවා වහාම සභාව හමුවේ මතු කිරීමට අවසර ලබාදිය නොහැකි බවද ඔහු පැහැදිලි කළේය.
මේ අතර, කතානායකවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය දැඩි කනස්සල්ල පළ කළේය.
එම තීරණය හරහා පාර්ලිමේන්තු වරප්‍රසාද මෙන්ම ප්රජාතන්ත්රවාදී ක්‍රියාපටිපාටිය පිළිබඳවද බරපතළ ගැටලු මතුවන බවට විපක්ෂ නායකවරයා චෝදනා කළේය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් 44 දෙනකුගේ අත්සන් සහිතව, කතානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි චෝදනා 50ක් ඇතුළත් විශ්වාසභංග යෝජනාව පසුගිය ඔක්තෝබර් 09 වැනිදා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදුන් බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
අදාළ යෝජනාව ඔක්තෝබර් 12 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබුණද, පසුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තීරණයක් මත එය ඉවත් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
ඒ හේතුවෙන් කතානායකවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ කරුණු දැක්වීමට සහ විවාදයක් පැවැත්වීමට විපක්ෂයට තිබූ අවස්ථාව අහිමි වී ඇති බවද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට නොගැනීම හරහා කතානායකවරයාගේ ස්වාධීනත්වය, පාර්ලිමේන්තුවේ ස්වාධීන ක්‍රියාකාරීත්වය සහ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් පිළිබඳව බරපතළ ප්‍රශ්න මතුවන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඒ අනුව, කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය හමුවේ අද පාර්ලිමේන්තුවේ කටයුතු දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.
