වසරක කාලයක් පුරා අනතුරු ඇඟවීම් කිහිපයක්ම සිදුකළද, ඒවා පිළිපැදීමට නොහැකි වූ බැවින්, රජයට හිඟ රුපියල් බිලියන 5.5ක බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන්, සීමාසහිත ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ දේශීය මත්පැන් නිෂ්පාදන බලපත්‍රය සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ අත්හිටුවා තිබේ.

සීමාසහිත ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගමට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කිරීමත් සමඟ, එම සමාගමේ නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.ඩී.එන්.ජයවීර නියෝග කර ඇත.

එම බලපත්‍රය තවමත් අවලංගු කර නොමැති නමුත් මත්පැන් සමාගම විසින් හිඟ මුදල් පියවන තෙක් එය අත්හිටුවන බව ජ්‍යෙෂ්ඨ දෙපාර්තමේන්තු නිලධාරියෙක් ජනමාධ්‍ය වෙත පවසා ඇත.

කෙසේ වෙතත්, ඉදිරියේදී සමාගමේ හිඟ බදු නොගෙවීම මත ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග තීරණය කිරීමට නියමිතය.

පසුගිය මස 30 වැනිදා වන විට හිඟ බදු නොගෙවන්නේ නම් තම බලපත්‍රය අත්හිටුවන ලෙස දැනුම්දෙමින් සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කළ ලිපියක නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින් සීමාසහිත ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගම ගොනුකළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය ඊයේ නිෂ්ප්‍රභ කළේය.

සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට ගැනීමට ප්‍රථමයෙන්, පෙනෙන නඩුවක් නොමැති බව පවසමින් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළේය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ නවීන් මාරපන අධිකරණයට දන්වා සිටියේ නියමිත කාලසීමාව තුළ හිඟ මුදල් නොගෙවන්නේ නම් බලපත්‍රය අත්හිටුවන බවට අනතුරු අඟවමින් සුරාබදු දෙපාර්තමේන්තුව අත්තනෝමතික ලෙස ලිපිය නිකුත් කර ඇති බවයි.

තම සේවාදායකයාට නිකුත්කර ඇති මත්පැන් නිෂ්පාදන බලපත්‍ර දහයෙන් අටක් ඊයේ වන විට අත්හිටුවීමට නියමිත බවට තම සේවාදායකයාට දැනුම් දී ඇති බව ඔහු අධිකරණයට දන්වා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අවන්ති පෙරේරා අධිකරණයට දන්වා සිටියේ බදු ගෙවීම පැහැරහරින මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අවලංගු කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි.

බදු ගෙවීම පැහැරහරින සියලුම සමාගම් සඳහා මෙම ප්‍රතිපත්තිය අදාළ වන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

සීමාසහිත ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂවරුන් තිදෙනකු වන අර්ජුන් ඇලෝසියස්, ඒ.ආර්.දිනේන්ද්‍ර ජෝන් සහ ප්‍රසන්න කුමාරසිරි ද සිල්වා යන අයට, බිලියන 3.5ක එකතු කළ අගය මත බදු (වැට්) ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස හයක සිර දඬුවමක් පසුගියදා නියම කළේය.

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one

Leave a Reply

Your email address will not be published. Required fields are marked *