November 22, 2024
asianewsplusone.com sfmnewslk.com
පසුගියදා මාතරදී අත්අඩංගුවට ගත් විශාල මත්ද්‍රව්‍ය තොගය මුහුදු මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවට රැගෙන ආ එකක් බව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාදෙමින් පොලිසිය පවසයි.
සඳුදා දින මාතර, ගන්දර, නුන්නවෙල ප්‍රදේශයේ මුහුදු මාර්ගය ඔස්සේ මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන ගොස් වෑන් රථයකින් ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසයි.
මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය බදාදා මාතර ප්‍රදේශයේදී සැකපිට පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එහිදී ඔවුන් සතුව තිබූ රුපියල් 615,000 ක මුදලක් සොයාගෙන ඇත. එම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරමට යොදාගත් බවට සැකකෙරේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 29,42,44,46 සහ 58 යන වයස්වල පසුවන ගන්දර, දෙවිනුවර සහ බෙලිඅත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුවලට අනුව, ගන්දර ප්‍රදේශයේදී එක් සැකකරුවකු, ගල්කිස්ස ප්‍රදේශයේදී එක් සැකකරුවෙකු සහ රත්මලාන ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 160ක් සහ හෙරොයින් කිලෝ 60ක් සමඟ තවත් සැකකරුවෙකු ගාල්ල නාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 500ක් පමණ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26, 27, 29, 51 සහ 58 යන වයස්වල පසුවන නාගොඩ, ගාල්ල, වැලිපැන්න, මහරගම සහ රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ ළඟ තබාගැනීමේ චෝදනා මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

