විශේෂයෙන් ප්‍රාථමික අංශයේ සිසු දරුවන් විසින් පාසලට රැගෙන ආ යුතු ඉගෙනුම් ද්‍රව්‍ය උපකරණ ආදිය පිළිබඳව දැනුම් දීමේදී විධිමත් සැලැස්මකින් යුතුව ප්‍රමාණවත් කාලයක් ලබා දී දෙමාපියන් දැනුවත් කිරීම කළ යුතුය. ඒ පිළිබඳව සිහිකැඳවීම් යොමු කිරීම් සඳහා පමණක් සන්නිවේදන යෙදවුම් භාවිතය සීමා කිරීම සුදුසු වේ.
සිසුන් විසින් නිවසේ දී සිදුකළ යුතු අභ්‍යාස හා පැවරුම් ආදිය සිසුන්ට ලබාදීම් පාසල් පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අතරතුර පැහැදිලි කිරීමෙන් පමණක් සිදුකළ යුතු අතර දෙමාපියන් සහ පවුලේ අනෙක් සාමාජිකයින්ද අපහසුතාවයට පත් කරමින් ඉහත සන්නිවේදන යෙදවුම් මේ සඳහා යොදා නොගත යුතු බව තරයේ අවධාරණය කරමි.
පොදුවේ සලකන කල්හි මෙවැනි සන්නිවේදන යෙදවුම් භාවිතයේදී කිසිදු අයුරකින් සිසුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන සහ ඔවුන් මානසික පීඩනයට ලක්විය හැකි ආකාරයේ පණිවුඩ, වීඩියෝපට, ඡායාරූප, හඬපට, නිවේදන ආදී කිසිවක් යොමු කිරීම සිදුනොකළ යුතු අතර එවැනි සිදුවීම් වාර්තා වුවහොත් ඒ සම්බන්ධව විනයානුකූලව දැඩි පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනු ලබන බව දන්වා සිටිමි.
රාජකාරිමය වශයෙන් සහ අධ්‍යාපන සංවර්ධනයට අදාළ වන ආකාරයේ සන්නිවේදන යෙදවුම් සමූහයන්වලට අමතරව අවිධිමත් ලෙස පාසල් ප්‍රජාව හා ගුරුවරුන් සම්බන්ධ කර ගනිමින් පවත්වාගෙන යනු ලබන සන්නිවේදන යෙදවුම් සමූහ මඟින් පාසලේ කිර්තිනාමයට හෝ පාසල් ප්‍රජාවට සහ සිසු දරුවන්ට විය හැකි හානි සම්බන්ධව අදාළ සමූහයන්හි පරිපාලකයින් විසින් පූර්ණ වගකීම දැරිය යුතු වේ. ඒ හා සම්බන්ධයෙන් මතුවන ගැටලුවලදී රටේ පවතින පොදු නීතිය සහ තොරතුරු සන්නිවේදන පනත අනුව නීතිමය පියවර ගනු ලබන බව ද දන්වමි.


