මගුල් ගෙදරකට ආ වෑන් රථයක් පැහැරගෙන ගිහින්!


November 10, 2024

asianewsplusone.com sfmnewslk.com

රථය සොයා පොලිස් මෙහෙයුමක්!
මස්කෙළිය-ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක

මස්කෙළිය නඟරයේ, ප්‍රාදේශිය සභා ගොඩනැඟිල්ල ඉදිරිපිට ප්‍රධාන මාර්ගය පසෙක නවතා තිබූ රුපියල් 82, 50000 (අසූ දෙලක්ෂ පනස්දාහක්) පමණ වටිනා ඩොල්පින් වර්ගයට අයත් වෑන් රථයක් (08) වෙනිදා රාත්‍රී කිසියම් පිරිසක් විසින් පැහැරගෙන යාම සම්බන්ධව මස්කෙළිය පොලීසිය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

පොලීසියට (09) දා පෙරවරුවේ ලද පැමිණිල්ලක් අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර තිබේ.

කහවත්ත ප්‍රදේශයේ පදිංචි පිරිසක් මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිව සිටින ඔවුන්ගේ ඥාතියෙකුගේ විවාහ මංගල්‍ය උත්සවය සඳහා අංක SPGU-8854 දරණ මෙම වෑන් රථයෙන් පැමිණ ඇති බවත්, (08) රාත්‍රී විවාහ මංගල උත්සවයේ සාදය මස්කෙළිය නඟරයේ පිහිටි හෝටලයක පවත්වා ඇති බවත් පොලීසිය පවසයි.

වෑන් රථයෙන් පැමිණි පිරිස (09) දා උදෑසන වෑන් රථය ගාල් කර තිබුණ ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමේදී වෑන් රථයේ රියදුරු අසුන පැත්තේ පැති වීදුරුවේ කොටසක් වෑන් රථය නවතා තිබූ ස්ථානයේ දමා ගොස් තිබී හමුවී ඇති බව පොලීසිය කියයි. පැති වීදුරුවේ කොටසක් කඩා වෑන් රථයේ දොර විවෘත්ත කර පන ගන්වා පැහැරගෙන ගොස් ඇති බවට පොලීසිය සැක කරයි.

මස්කෙළිය, බ්‍රවුන්ලෝ, නෝටන්බ්‍රීජ්, ගිනිගත්හේන හරහා මහනුවර ප්‍රදේශයට මෙම වෑන් රථය ධාවනය කර ඇති බවට ආවේක්ෂණ කැමරා (CCTV) වල සටහන් වී ඇති බව මේ සම්බන්ධයෙන් කරන ලද මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙක් සැක පිට අත්අඩංගුවට ගෙන නොමැති බවත්, විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා මේ වන විට පුලුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් මස්කෙළිය පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *