සන්ධාන දේශපාලනය හා පාර්ලිමේන්තුවේ 225 පැවැත්ම!

October 27.2024 – kandyprime –
sarath samaranayaka

මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ වල මුල් ගැලවී අවසන්!

සන්ධාන ගත දේශපාලන පක්ෂ ක්‍රමය තුලින් සැබෑ මහජන මතය නියෝජනය වෙයිද !

සමාජ දේශපාලන විශ්ලේෂක මානව හිමිකම් සුරැකීමේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ දේශමාන්‍ය අචාර්ය එම්.එම්.සෆාන් මහතා කරන විග්‍රහයක්

ශ්‍රී ලංකාවේ තනි පක්ෂ දේශපාලන ක්‍රමය මේ වන විට අවසන් වෙමින් පවතින අතර දශක ගණනාවක් තිස්සේ ප්‍රධාන කඳවුරු දෙකක් අතර හුවමාරු වෙමින් තිබූ ශ්‍රී ලංකාවේ දේශපාලන බලාධිකාරයේ වෙනසක් වී තිබේ .

මෙරට බලය ලබා ගැනීමට උත්සාහය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ප්‍රධාන කඳවුරු දෙකට විකල්පයක් ලෙස නිර්මාණය වී මෙරට විධායක බලය තමන් සන්තක කර ගැනීමට එම කණ්ඩායම සමත් විය.

දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට මීළඟ වසර 5ක කාලයක් සඳහා පාර්ලිමේන්තුව තුළ හිමි වන බලය උරගා බැලීමේ අවස්ථාව මේ වන විට පැමිණ තිබෙන අතර ජනතාව සිය ඡන්දය කුමන ආකාරයට භාවිතා කරයිද යන ගැටලුව රට ඉදිරියේ තිබේ.ඒ ජනාධිපති වරයා එක් දේශපාලන කදවුරකින් ද අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුව වෙනත් දේශපාලන කදවුරකින් තෝරා ගැනීමට කටයුතු කටයුතු කරයි ද

ශ්‍රීලංකාවේ පක්ෂ දේශපාලන ක්‍රියාකාරිත්වය පිළිබඳව දීර්ඝ කාලීන අත්දැකීම් සහිත සමාජ දේශපාලන විශ්ලේෂක මානව හිමිකම් සුරැකීමේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ දේශමාන්‍ය එම්.එම්.ෂෆාන් මහතා පවසන්නේ මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ අහෝසි වී සන්ධාන ගොඩ නැගීමත් ඒ සන්ධාන වටා එකතු වන ජනතාව මැතිවරණ වලදී කටයුතු කිරීම සැබෑ ලෙසම ප්‍රජාතන්ත්‍රවාදයට අනුගත වේදැයි යන ප්‍රශ්නය සමාජය හමුවේ පවතින බවයි.

ජනාධිපතිවරණයේදී ප්‍රධාන පක්ෂ කිහිපයට විකල්පයක් ලෙස ඉදිරිපත් වූ ජාතික ජන බලවේගය ද තරග කළේ, සන්ධානගත වෙමිනි.මේ අතර, ජාතික ජන බලවේගය ඇතුළු පක්ෂ සියල්ල ම පාහේ සන්ධානගත වෙමින් මෙවර මහ මැතිවරණය තරග කරන බව නිරීක්ෂණය වන අතර මෙම සංධාන තුල ක්‍රියාත්මක ඇතැම් පක්ෂ හා ප්‍රධාන පක්ෂයේ අරමුණු වෙනුවෙන් පෙනී නොසිට වෙනත් අරමුණින් කටයුතු කිරීමේ ප්‍රවණතාවක් පසුගිය කාලයේ දක්නට ලැබුණු බවද ජාති වාදය පෝෂණය කරමින් කටයුතු කිරීමත් වැරැදි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන පක්ෂය පෙළඹ වීමත් දක්නට ලැබුණු ප්‍රධාන ගැටලුව බව ද ෂෆාන් මහතා පෙන්වා දෙයි .

නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්. සේනානායක විසින් ආරම්භ කරන ලද එක්සත් ජාතික පක්ෂය මෙවර මහ මැතිවරණයට සන්ධානගතව තරග කරන්නේ, එම පක්ෂයේ ආරම්භක ලකුණ වූ අලියා ලකුණ නොමැතිව යි.එක්සත් ජාතික පක්ෂය නුවරඑළිය සහ වන්නි දිස්ත්‍රික්ක සඳහා පමණක් අලියා ලකුණින් තරග කරයි.

2020 වසරේ පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත පරාජයක් හිමි වූ අතර, සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් එක් බෝනස් ආසනයක් පමණක් ඔවුන්ට හිමි විය.

එසේ ම, එම මැතිවරණයේදී පක්ෂයේ සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ඉදිරි පෙළ නායකයින් සැලකිය යුතු සංඛ්‍යාවක් සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයෙන් තරග කළහ.

එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් අවසන් වරට 2005 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර ඉන් පරාජය විය.

වර්ෂ 1951 දී එක්සත් ජාතික පක්ෂ රජයෙන් වෙන් වී එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අත ලකුණ යටතේ පිහිටුවා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද අද වන විට බෙදී වෙන්වී තිබේ.

එම පක්ෂයේ සමාජික සමාජිකාවන් කොටස් කිහිපයකට වෙන්වී වෙනත් පාර්ශව සමග සන්ධානගත වී ඇත.

ලෝකයේ ප්‍රථම අගමැතිනිය බිහි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1977 වසරේ පැවති මහ මැතිවරණයෙන් පසුව අත ලකුණ අතහැර බොහෝ දුරට තරග කර ඇත්තේ සන්ධානගතව වෙනත් නම්වලින් සහ ලකුණු යටතේ ය.

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන් ම ඒවා සමග සම්බන්ධ වූ සන්ධාන අතර හුවමාරු වෙමින් තිබූ මෙරට පාලන බලය ලබා ගැනීමට එම පක්ෂවලට විකල්පයක් ලෙස ඉස්මතු වූ ජනතා විමුක්ති පෙරමුණට ද වසර ගණනාවක් නොහැකි විය.

1965 මැයි මස 14 වන වෙසෙක් පොහෝ දින ගාල්ලේදී ආරම්භ කරන ලද ජනතා විමුක්ති පෙරමුණ, සීනුව ලකුණින් මැතිවරණයකට ඉදිරිපත් වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් 1982 පැවති ජනාධිපතිවරණයට එහි ආරම්භකයා වූ රෝහණ විජේවීර ඉදිරිපත් වීමෙන් පසුව 1999 වසරේදී සීනුව ලකුණින් නන්දන ගුණතිලක ජනාධිපතිවරණයට ඉදිරිපත් විය.

කෙසේ වෙතත්, සීනුව ලකුණ සහ ජනතා විමුක්ති පෙරමුණ යටතේ දේශපාලන බලයක් ලබා ගැනීමට එම පක්ෂයට ද නොහැකි විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්වී මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පිහිටුවා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතා ම කෙටි කාලයක් තුළ මෙරට පාලන බලය සියතට ගැනීමට සමත් වූ අතර, කෙටි ම කාලයක් තුළ බලය අහිමි කර ගත් පක්ෂය ලෙස ද ඉතිහාසගත විය.

ඔවුන් ද බලය ලබා ගැනීමට සමත් වූයේ, තවත් පක්ෂ සමග සන්ධානගත වෙමිනි.

එම පක්ෂයේ හිමිකාරිත්වය දරන රාජපක්ෂවරුන් බොහෝ දෙනෙකු පවා මෙවර මැතිවරණයට තරග නොකරන අතර ජනාධිපතිවරණ අපේක්ෂකයා වූ නාමල් රාජපක්ෂ ද මැතිවරණයට තරග නොකර ජාතික ලැයිස්තුවට සිය නම ඇතුළත් කරගෙන සිටී.

එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වී සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ නිර්මාණය කරන ලද සමගි ජන බලවේගයට මෙතෙක් හිමිව ඇත්තේ මෙරට ප්‍රධාන විපක්ෂයේ භූමිකාව පමණකි.

එම පක්ෂය ද තවත් පක්ෂ හා සන්ධානගත වෙමින් පැවති මැතිවරණවලට තරග කළේ ය.ඔවුන් පසුගිය ජනාධිපතිවරණයට තරග කළේ ද, සමගි ජන සන්ධානය ලෙස ය.

මෙම කරුණු සලකා බැලිමේදී මෙරට තනි පක්ෂ කෙරෙහි තිබූ මහජන විශ්වාසය හීන වී ගොස් ඇති බව පමණක් නොව ප්‍රධාන පක්ෂවලින් වෙන්වී පිහිටුවා ගත් පක්ෂ කෙරෙහි පවා ජනතා විශ්වාසය පළුදු වී ඇති බවක් දක්නට ලැබෙන බව දේශපාලන විශ්ලේෂක ෂෆාන් මහතා පවසයි.

ඇතැම් ප්‍රධාන පෙළේ පක්ෂවල පාර්ලිමේන්තුව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨයින් රැසක් මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර ඇත.බොහෝ දෙනෙකු අඩුවෙන් තක්සේරු කළද රටේ සෑම කටයුත්තක් සදහා ම පාර්ලිමේන්තුවේ දායකත්වය අතිශයින් වැදගත් වේ.නීති සම්පාදනය කිරීම ,මුදල් පනත් සම්මත කිරීම ඇතුළු රටේ ජනතාවගේ එදිනෙදා ජන ජීවිතය ගෙන යාමට අවශ්‍ය සියලු කටයුතු අනුමත වන්නේ පාර්ලිමේන්තුව තුලිනි.පාර්ලිමේන්තුවේ 225 දෙනාම එපා ඔවුන් දූෂිතයන් බව එදා ජනතාව හඩ නැගුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා තමන්ගේ සැබෑ මහජන නියෝජිතයාද කියන ප්‍රශ්නය ජනතාවට නිරතුරුව වද දුන් කාරණාවක් නිසාය.තමා සමග එක තේ කෝප්පය බිව් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අපේක්ෂකයා මන්ත්‍රී කර පාර්ලිමේන්තුව යැවූ පසු ඔහු 225 වෙනම කල්ලියක් නිර්මාණය කළා මිස තමන් වෙනුවෙන් පෙනී නොසිටින බව ජනතාව අවබෝධ කර ගත් හ.එම අවබෝධය දැවැන්ත විරෝධයක් බවට පෙරළී වෙනස් දේශපාලන කදවුරකින් නව ජනාධිපති වරයෙකු බිහි කරගැනීමට තරම් ජනතාව ඉදිරියට ගිය හ.ඉදිරි පාර්ලිමේන්තුව ද තේරුම් ගත යුතු යථාර්ථය මෙය බව අපේ විශ්වාසය යි.

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *