October 11, 2024
රංගන ශිල්පිනි දමිතා අබේරත්නගේ නම සමගි ජන බලවේගයේ රත්නපු දිස්ත්‍රික් මහමැතිවරණ නාමයෝජන පත්‍රයක් ඇතුළත් කර නොමැති බවට තොරතුරු වාර්තා වනවා.
ඇය ඊයේ දින මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණේ, තමන් මෙවර අදාළ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වන බවයි.
කෙසේ වෙතත් මේ වනවිට අදාළ නාමයෝජනා පත්‍රය රත්නපුර දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී වසන්ත ගුණරත්න මහතා භාරදී ඇති අතර, එහි පිටපතක් මහජන ප්‍රදර්ශනයට අලවා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දමිතා අබේරත්න සඳහන් කර තිබුණේ, තමන්ට සිදු වූ බලවත් අසාධාරණය සම්බන්ධයෙන් ‘සජිත් ප්‍රේමදාස’ගෙන් කරුණු විමසීමට තමන් සුදානම් බවයි.
ඊයේ අලුයම 2ට පමණ මෙම ‘වෙනස් කිරීම’ සිදු කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තමන්ට ලිඛිතව හෝ වාචිකව දැනුම් නොදුන් බවත් ඇයි කියා තිබුණා.
මේ අතර, දමිතා අබේරත්නගේ නම ලැයිස්තුවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් හේෂා විතානගේ මෙලෙස අදහස් පළ කළා.
“රත්නපුර දිස්ත්‍රික්කයට නාමයෝජන මණ්ඩලය සඳහා අයදුම් පත්‍ර විශාල ප්‍රමාණයක් ආවා. නමුත් අපිට නාමයෝජනා ලබා දිය හැක්කේ 14 දෙනෙකුට පමණයි. නාමයෝජනා මණ්ඩලයේදී තීන්දු ඒ වෙලාවේ ප්‍රකාශයට පත් කරන්නේ නෑ. දමිතා අබේරත්න මැතිණිය කියන්නේ, අපේ පක්ෂයට විශාල ශක්තියක් ලබාදීපු කලාකාරිනියක්. අපි විශ්වාස කරනවා රත්නපුර දිස්ත්‍රික්කයට දේශපාලන නායිකාවක් හදාගැනීමේ අවශ්‍යතාව තියෙන නිසා අපේ රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායමට ජාතික තලයේ කොච්චර හයියක් දුන්නත්, අපි පිටින් මේ දිස්ත්‍රික්කයට ආනයනය කරන අපේක්ෂකයෝ නොදානවා කියන තීන්දුවක් ගත්තා.”
