රුපියල් ලක්ෂ 30ක මුදල් වංචාවක් පිළිබඳව ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුගෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැය 5කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සමබන්ධයෙන් මෙතෙක් සිදුකර ඇති විමර්ශනවලින් හෙළිදරවූ තොරතුරු මත අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණ වූ රාජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු බව කියන වයික්කාලේ පදිංචි රොසාන් සේනානායක සහ කොච්චිකඩේ පදිංචි මොහොමඩ් අලි නමැත්තන් මේ වන විට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ විසින් ලක්ෂ 10 බැගින්වූ පුද්ගල ඇප මත මුදාහැර තිබුණා.
මෙලෙස ඇප මත මුදාහරිනු ලැබුවේ, වංචා කළ මුදලින් ලක්ෂ 15 ක් සම්බන්ධීකරණ නිලධාරියා සහ තැරැව්කරු විසින් රුපියල් 50000 ක් පැමිණිලිකාරියට ගෙවීමෙන් අනතුරුව බවයි වාර්තා වෙන්නේ.
පැමිණිලිකාරිය විමර්ශනයේදී ලබාදී ඇති තොරතුරු අනුව මොහොමඩ් නමැත්තා විසින් රාජ්‍ය අමාත්‍යවරයා මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට යා හැකි බව පවසා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් හඳුන්වාදීම සිදු කර තිබෙන බව සඳහන්.
ඉන්පසු පැමිණිලිකාරිය විසින් සම්බන්ධිකරණ ලේකම්වරයා ලබාදුන් ඔහුගේ සහ අමාත්‍යවරයාගේ නමින් ඇති බැංකු ගිණුම් දෙකකට මෙම වසරේ ජනවාරි මස 05දා සහ 22දා රුපියල් ලක්ෂ දොළහක් සහ හාරලක්ෂ අනූපන්දහසක මුදලක් තැන්පත් කර ඇති අතර, අතර මැදියා අතට ලක්ෂ දොළහක මුදලක් ලබාදී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.
අමාත්‍යවරයා විදේශ ගතවන දිනයේදී ඔහු සමග ප්‍රභූ පර්යන්තයෙන් ගුවන්තොටු පොළට ඇතුළු වන ලෙස මෙම කාන්තාවට උපදෙස් ලබාදී ඇති අතර නියමිත දිනයේදී මෙම කාන්තාව ඥාතීන් සමග ගුවන්තොටුපොළට පැමිණ සිටියදී තමාගේ පිටුපසින් පැමිණෙන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී ඇති බවද සඳහන්.
කෙසේවෙතත්, ලේඛනවල ගැටලුවක් හේතුවෙන් මෙම කාන්තාවට ගුවන්යානය වෙත ගමන්කිරීමට ආගමන විගමන නිලධාරීන් විසින් අවසර ලබාදී නොමැති බවද විමර්ශන වලදී අනාවරණය වූ බව පොලීසිය පවසනවා.
පොරොන්දු වූ පරිදි ඔස්ට්‍රේලියාවට යාමට අවස්ථාව ලබා නොදුන් නිසා තමාගෙන් ලබාගත් මුදල් ආපසු ගෙවන ලෙස සැකකරුවන් ගෙන් සිදු කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් වින්දිත කාන්තාව විසින් මීගමුව කොට්ඨාසයේ වංචා විමර්ශන අංශයට පැමිණිල්ලක් සිදු කර තිබුණා.
සම්බන්ධීකරණ නිලධාරියාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී තම ගිණුමට තැන්පත් කළ ලක්ෂ 15ක මුදල තමන් විසින් රාජ්‍ය අමාත්‍යවරයාට ලබා දුන් බව ඔහු ප්‍රකාශ කර ඇති බවද පොලීසිය සඳහන් කරනවා.
මීගමුව කොට්ඨාසයේ වංචා විමර්ශන අංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කිරීමට නියමිතයි.
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com
