වසර හයක් තිස්සේ පැමිණිලි කළත් අත්අඩංගුවට ගත්තේ දැන්! 

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

ජනතාවගේ කෝටි ගණනක මුදල්වලට මොකද වුණේ? – තරිඳු රත්නායක

Fast 3 Cycle නමින් ක්‍රියාත්මක වූ බව කියන පිරමීඩ ආකාරයේ මූල්‍ය ජාවාරම සම්බන්ධයෙන් ජනතාවට අහිමි වූ බව කියන කෝටි ගණනක මුදල්වලට සිදුවූයේ කුමක්ද යන්න වහාම අනාවරණය කළ යුතු බවත්, වසර හයකට ආසන්න කාලයක් තිස්සේ පැමිණිලි ඉදිරිපත් කළ පසුව සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පමණක් මෙම සිද්ධිය අවසන් නොවිය යුතු බවත් ජාතික ගොවිජන එකමුතුවේ ජාතික සංවිධායක සහ පිරමීඩ විරෝධී බලකායේ සභාපති තරිඳු රත්නායක මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පසුගිය 01 වැනිදා පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙම ජාවාරම හරහා ජනතාවගෙන් ලබාගත් මුදල් ප්‍රමාණය කොපමණද, එම මුදල් ලබාගත් ආකාරය කුමක්ද, ඒවා බැර වූ බැංකු ගිණුම් මොනවාද, වෙනත් පාර්ශ්ව වෙත මුදල් හුවමාරු වූයේද සහ ඊට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳව විධිමත් හා පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙස තමන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද රත්නායක මහතා සඳහන් කළේය.

මෙම පුද්ගලයා සහ ඔහු සම්බන්ධයෙන් එල්ල වී ඇති මූල්‍ය ජාවාරම් පිළිබඳව මුල්වරට මාධ්‍ය හරහා අනාවරණය කළේ තමන් බවත්, මුල්වරට පැමිණිලි ඉදිරිපත් කළේද තමන් බවත් පැවසූ ඔහු, වසර හයකට ආසන්න කාලයක් පුරා විවිධ ආණ්ඩු සහ පොලිස්පතිවරුන් වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කර තිබෙන බව කියා සිටියේය.

එමෙන්ම සිද්ධියෙන් අගතියට පත්වූ පුද්ගලයන් පැමිණිලි කිරීමට දැනුවත් කරමින් ඔවුන් පොලිසිය වෙත රැගෙන ගොස් පැමිණිලි ඉදිරිපත් කිරීමට අවශ්‍ය මැදිහත්වීමද තමන් විසින් සිදුකළ බව සඳහන් කළ රත්නායක මහතා, මෙතරම් කාලයක් පැමිණිලි ඉදිරිපත් කර තිබියදීත් සැකකරු අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් පවතින බවද ප්‍රකාශ කළේය.

Fast 3 Cycle නමින් පවත්වාගෙන ගිය බව කියන මෙම ව්‍යාපාරය ආරම්භයේදී හෝටල් නිවාඩු පැකේජ ඇතුළු ආකර්ෂණීය ප්‍රතිලාභ ලබාදෙන බව පවසමින් ජනතාවගේ විශ්වාසය දිනාගෙන තිබූ බවත්, රුපියල් 18,000ක මුදලක් ගෙවීමෙන් හෝටල් නිවාඩු පැකේජයක් ලබාගත හැකි බවට ඉදිරිපත් කළ යෝජනාවක් මත එය ආරම්භ වූ බවට මාධ්‍ය වාර්තා පළවී තිබූ බවත් ඔහු සඳහන් කළේය.

පසුව නව සාමාජිකයන් බඳවා ගැනීම සහ ඔවුන්ගෙන් ලැබෙන මුදල් මත පදනම් වූ පිරමීඩ ආකාරයේ යෝජනා ක්‍රමයක් ලෙස එය ක්‍රියාත්මක වූ බවට චෝදනා එල්ල වී තිබෙන බවද ඔහු පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2021 අගෝස්තු 17 වැනිදා පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබූ බවත්, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ B 21472/2022 නඩු අංකය යටතේ කරුණු වාර්තා කර 2023 මාර්තු 02 වැනිදා අදාළ පුද්ගලයා සැකකරුවකු ලෙස නම් කර තිබූ බවත් රත්නායක මහතා පැවසීය.

පොලිසිය මඟහරිමින් සිටි බව කියන ෆ්‍රැන්සිස් හෙට්ටිගේ අනිල් නොහොත් අනිල් බණ්ඩාර නමැත්තා හෝමාගම පනාගොඩ ප්‍රදේශයේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පසුගිය ඔක්තෝබර් 30 වැනිදා අත්අඩංගුවට ගත් බවට මාධ්‍ය වාර්තා පළවූ බවද ඔහු සඳහන් කළේය.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව විමර්ශන නතර නොකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ඇතුළු අදාළ ආයතන සම්බන්ධ කරගනිමින් මුදල් ගලාගිය මාර්ග සහ ඊට සම්බන්ධ සියලු පාර්ශ්ව පිළිබඳව විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් සිදුකළ යුතු බවද රත්නායක මහතා අවධාරණය කළේය.

වසර ගණනාවක් තිස්සේ තමන්ට අහිමි වූ මුදල් වෙනුවෙන් සාධාරණය අපේක්ෂාවෙන් සිටින ජනතාවට තවදුරටත් බලා සිටීමට සිදුවිය යුතු නැති බවත්, සැකකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම මෙන්ම අගතියට පත්වූ ජනතාවගේ මුදල් සම්බන්ධයෙන්ද සාධාරණ විසඳුමක් ලබාදීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *