රහසේ රැගෙන ආ ජංගම දුරකථන 1,083ක් සහ අධි ධාරිතාවයෙන් යුත් පෙන් ඩ්‍රයිව් 200ක් සන්තකයේ තබාගෙන සිටි ශ්‍රී ලාංකික මගීන් දෙදෙනකු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (17) අලුයම ඩුබායි සිට ඔවුන් දෙදෙනා ගුවන්තොටුපළ වෙත පැමිණ ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයකු බවට හඳුනාගෙන ඇති අතර, අනෙක් සැකකරු 24 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවකු බව වාර්තා සඳහන් කරයි.

සැකකරුවන් සන්තකයේ තිබී රාජසන්තක කරන ලද භාණ්ඩවල වටිනාකම රුපියල් මිලියන 50ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ.

අත්අඩංගුවට ගත් භාණ්ඩ වැඩිදුර පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා රේගුව වෙත භාර දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *