www.bbcmirror.lk
www.Lankawebnews.lk
නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රය නමැති ඉඩම ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් පෞද්ගලික සමාගමට කඩිනමින් ලබාදීම සහ එම සමාගමට අවශ්‍ය අනුමැතීන් ලබාගැනීම සඳහා රුපියල් මිලියන 70ක මුදලක් අල්ලසක් ලෙස ලබාදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව, බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂ මහතාගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ලබාගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අවසර ලබාදී තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම අවසරය අද (24) ලබා දී ඇත.
අල්ලස් කොමිසම විසින් ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් පෞද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ගීතාංජලී ජානකී ද සොයිසා සිරිවර්ධන මහත්මිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබේ.
මෙම නඩුවට අදාළව ඉන්දීය ජාතික සැකකරුවන් දෙදෙනෙකුට වරෙන්තු නිකුත් කිරීම සඳහා අවශ්‍ය සාක්ෂි ලබන 02 වැනිදා කැඳවන ලෙසද මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට දැනුම් දී ඇත.
අල්ලස් කොමිසම වෙනුවෙන් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් සහකාර අධ්‍යක්ෂ නීතිඥ අමා විජේසිංහ මහත්මිය කරුණු දැක්වීය.
ඇය සඳහන් කළේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රය නමැති භූමිය ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් පෞද්ගලික සමාගමට කඩිනමින් ලබාගැනීම සහ අවශ්‍ය අනුමැතීන් ලබාගැනීම සඳහා අල්ලස් මුදල් පිරිනැමීම සම්බන්ධයෙන් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි.
2023 වසරේදී අල්ලස් කොමිසමට ලැබුණු ලිඛිත පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවද ඇය අධිකරණයට දැනුම් දුන්නාය.
ක්‍රිෂ් සමාගමේ මව් සමාගම වන මහාදේව් සමාගමේ නියෝජිතයන් ලෙස කටයුතු කළ බව කියන සැකකාරිය, සමාගමේ සෙසු අධ්‍යක්ෂවරුන් දෙදෙනා සමඟ එක්ව අදාළ මුදල නිමල් හේමසිරි පෙරේරා නමැත්තා මගින් නාමල් රාජපක්ෂ මහතා වෙත ලබාදී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද අල්ලස් කොමිසම සඳහන් කළේය.
සැකකාරිය අදාළ සමාගම මෙරට සිදුකළ ගනුදෙනු, ඒ සම්බන්ධයෙන් පැවති රැස්වීම්, ගිවිසුම් සහ සමාගමේ මූල්‍ය කටයුතු පිළිබඳව දැනුවත් තැනැත්තියක බවද අල්ලස් කොමිසම අධිකරණයට පෙන්වා දුන්නේය.
එමෙන්ම සමාගමේ සෙසු අධ්‍යක්ෂවරුන් වන ඉන්දීය ජාතිකයින් දෙදෙනාට විමර්ශනයට සහාය ලබාදෙන ලෙස ලියාපදිංචි තැපෑලෙන් දැනුම් දී තිබුණද, මේ දක්වා ඔවුන්ගෙන් විමර්ශනයට අවශ්‍ය සහායක් ලැබී නොමැති බවද කොමිසම සඳහන් කළේය.
මෙම විමර්ශනයට මෙන්ම නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවටද සාක්ෂිකරුවෙකු ලෙස නිමල් හේමසිරි පෙරේරා මහතා නම් කර ඇති බව අධිකරණයට දැනුම් දෙනු ලැබීය.
ඔහු මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අතර, ජීවිත තර්ජන හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි බව දැනුම් දී ඇති බවද අල්ලස් කොමිසම සඳහන් කළේය.
අදාළ රුපියල් මිලියන 70ක මුදල බැංකු ගිණුමක් හරහා ලබාදී ඇති බවත්, එම ගිණුමේ හිමිකරු වන නිමල් පෙරේරා මහතා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදී ඇති බවත් කොමිසම වැඩිදුරටත් කියා සිටියේය.
විමර්ශනවලදී නාමල් රාජපක්ෂ මහතා විසින් අල්ලස් මුදල් ලබාගත් බවට ලේඛන සහ බැංකු ගිණුම් ඔස්සේ කරුණු අනාවරණය වී ඇති බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.
එමෙන්ම විමර්ශනයට සහාය නොදක්වන ඉන්දීය ජාතික සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙසද කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සඳහන් කළේ, සැකකාරිය දූෂණ විරෝධී පනතේ 149 වැනි වගන්තිය යටතේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකයක් සමඟ අධිකරණයට ඉදිරිපත් කර ඇති බැවින් සහ විමර්ශන තවදුරටත් සිදුකෙරෙමින් පවතින බැවින් ඇය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
අධිකරණය විසින් අල්ලස් මුදල් ලබාදුන් ආකාරය පිළිබඳව විමසූ අවස්ථාවේදී කොමිසම සඳහන් කළේ 2012 වසරේ ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී අවස්ථා තුනකදී අදාළ බැංකු ගිණුමට මුදල් බැර කර ඇති බවයි.
ඒ අනුව එක් අවස්ථාවකදී රුපියල් මිලියන 40ක්ද, දෙවන අවස්ථාවේදී රුපියල් මිලියන 10ක්ද, 2012 දෙසැම්බර් 12 වැනිදා රුපියල් මිලියන 20ක්ද වශයෙන් මුදල් බැර කර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.
අදාළ මුදල් ලැබුණු බවට බැංකු ගිණුමේ හිමිකරු වන නඩුවේ සාක්ෂිකරු නිමල් පෙරේරා මහතා තහවුරු කර ඇති බවද කොමිසම සඳහන් කළේය.
මෙහිදී සැකකාර සමාගමද නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිල දිසානායක මහතා සඳහන් කළේ රුපියල් මිලියන 70 සම්බන්ධයෙන් 2015 වසරේදී කරන ලද පැමිණිල්ලකට අනුව නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව 2016 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කර තිබූ බවයි.
එම අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදාහැර තිබූ බවද නීතිඥවරයා සඳහන් කළේය.
2025 වසරේදී සාපරාධී විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති අතර එම නඩුව මේ වනවිට විභාග වෙමින් පවතින බවද ඔහු පැවසීය.
මෙම නඩුව සහ මහාධිකරණයේ නඩුව යන දෙකටම පදනම් වී ඇත්තේ එකම රුපියල් මිලියන 70ක සිද්ධිය බවද නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.
තම සේවාදායිකාව එම නඩුවේ සාක්ෂිකාරියක් ලෙස නම් කර ඇති බවත්, ඉන්දීය ජාතික සැකකරුවන් දෙදෙනාද එම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, මෙම අවස්ථාවේදී තම කරුණු දැක්වීම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් පමණක් බව සඳහන් කළ නීතිඥවරයා, සැකකාරියගේ දරුවා වයස අවුරුදු 14ට අඩු බවත්, ඇය නොබෝ දිනකින් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත බවත්, ඇගේ සැමියා විදේශගතව සිටින බවත් අධිකරණයට දැනුම් දුන්නේය.
එම කරුණු සලකා බලා ඕනෑම කොන්දේසියක් යටතේ තම සේවාදායිකාවට ඇප ලබාදෙන ලෙසද නීතිඥවරයා ඉල්ලා සිටියේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, වෙනත් නඩුවක සැකකාරිය සාක්ෂිකාරියක් වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණ මෙම අවස්ථාවේදී සලකා බැලිය නොහැකි බව පෙන්වා දුන්නේය.
අධිකරණයට සලකා බැලිය හැක්කේ තමන් ඉදිරියේ ඉදිරිපත් කර ඇති කරුණු පමණක් බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා, මෙම විමර්ශනයට සැකකාරියගෙන් ප්‍රමාණවත් සහායක් ලැබී නොමැති බවට අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණුද සැලකිල්ලට ගත්තේය.
ඒ අනුව සැකකාරියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මේ අතර, බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂ මහතාගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ලබාගැනීමට අල්ලස් කොමිසමට අවසර ලබාදුන් මහේස්ත්‍රාත්වරයා, ඉන්දීය ජාතික සැකකරුවන් දෙදෙනාට වරෙන්තු නිකුත් කිරීම සඳහා අවශ්‍ය සාක්ෂි ලබන 02 වැනිදා කැඳවන ලෙසද දැනුම් දුන්නේය.
ඒ අනුව සැකකාර ගීතාංජලී ජානකී ද සොයිසා සිරිවර්ධන මහත්මිය ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, එදිනට විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළේය.
