ඓතිහාසික නුවරඑළිය සීතා අම්මන් කෝවිල වැඳ පුදා ගත් ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

වීඩියෝ – https://we.tl/t-zvMXBQdauDJ844qf

සීතා අම්මාන් කෝවිලේදී ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං විශේෂ ආගමික වතාවත්වල.

ශ්‍රී ලංකා–ඉන්දීය සබඳතාවල ඓතිහාසික බැඳීම සනිටුහන් කරමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද (10) නුවරඑළිය සීතාඑළිය ඓතිහාසික සීතා අම්මාන් කෝවිල වෙත පැමිණ විශේෂ ආගමික වතාවත්වල නිරත විය.

ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරතව සිටින ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ නුවරඑළිය සංචාරය, දෙරට අතර පවතින දිගුකාලීන ආගමික, සංස්කෘතික හා ජනතා සබඳතා සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු වූ අවස්ථාවක් විය.

කෝවිලට පැමිණි රාජ්නාත් සිං මහතා කෝවිලේ භාරකාර මණ්ඩලයේ සභාපති හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා ඇතුළු පිරිසක් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජීවන් තොණ්ඩමන්, මංජුල සුරවීර ආරච්චි, නුවරඑළිය ප්‍රාදේශීය සභා සභාපති වේලු යෝගරාජ් මහතා ඇතුළු කෝවිල් පරිපාලන මණ්ඩල සාමාජිකයෝ එක්ව සිටියහ.

විශේෂ ආගමික වතාවත්වල නිරත වූ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අනතුරුව හනුමාන් පාදය වැඳ පුදාගෙන පූජනීය ගංගා ප්‍රදේශය වෙතද ගොස් එහි දර්ශනය ලබා ගත්තේය.

අනතුරුව කෝවිල් පරිපාලනය විසින් රාජ්නාත් සිං මහතා වෙත සමරු තිළිණයක්ද පිරිනැමූ අතර, ඔහු කෝවිල් පරිපාලන මණ්ඩල සාමාජිකයන් සමඟ සමූහ ඡායාරූපයකටද එක් විය.

රාජ්නාත් සිං මහතාගේ මෙම නුවරඑළිය සංචාරය සිදුවන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක, සාගර හා රාජතාන්ත්‍රික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු වූ ඔහුගේ තෙදින නිල සංචාරයේ අවසන් දිනයේදීය. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ මෙම සංචාරය දෙරට අතර පවතින සාම්ප්‍රදායික මිත්‍රශීලී සබඳතා සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභදායක ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට වැදගත් වන බවයි.

සැප්තැම්බර් 9 වැනිදා කොළඹදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ රාජ්නාත් සිං මහතා දෙරටේ බහුවිධ සබඳතා සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, ශ්‍රී ලංකාවේ ආරක්ෂාව හා කලාපීය සාමය සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙන යාම පිළිබඳ අවධානය යොමු වී තිබේ.

මෙම සංචාරයට සමගාමීව ඉන්දීය නාවික හමුදාවේ INS Udaygiri නෞකාවද සැප්තැම්බර් 8 සිට 11 දක්වා කොළඹ වරායට පැමිණ ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ තාක්ෂණික පුහුණුව, අත්දැකීම් හුවමාරුව සහ උපකරණ සහයෝගීතාව වර්ධනය කිරීම එහි අරමුණු අතර වේ.

මේ අතර ඉන්දීය රජයේ ආධාර යටතේ ඉරගල ප්‍රදේශයේ ඉදිකර ඇති නිවාසවල ප්‍රතිලාභීන්ද රාජ්නාත් සිං මහතා හමුවී ඉන්දීය රජයට සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත සිය ස්තූතිය පළ කළහ.

ඔවුන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ රාජ්නාත් සිං මහතා ප්‍රතිලාභීන් සමඟ සමූහ ඡායාරූපයකටද එක්විය.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ සීතා අම්මාන් කෝවිල් සංචාරය එම ආගමික ස්ථානයේ රාමායණයට සම්බන්ධ ජනප්‍රවාද හා ශ්‍රී ලංකා–ඉන්දීය ජනතා සබඳතාවලට ඇති ඓතිහාසික බැඳීම හේතුවෙන් ඔහුගේ නිල සංචාරයේ සුවිශේෂී අවස්ථාවක් බවට පත්විය. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයද නුවරඑළිය සංචාරය දෙරට අතර පවතින ඓතිහාසික බැඳීම්, විශේෂයෙන් රාමායණය හා සම්බන්ධ සංස්කෘතික සබඳතා සමඟ සම්බන්ධ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *