www.bbcmirror.lk
www.Lankawebnews.lk
හමුදා නිල ඇඳුම ලාගත් සැමම රණ විරුවන් ලෙස සැලකේ. විශේෂයෙන්ම තිස් අවුරුදු යුද්ධයේදී කුමන අන්දමකින් හෝ, කුමන කාල වකවානුවකදී හෝ දායක වූවා නම් ඔහු විරුවෙකි . එහෙම බලද්දී සලේද විරුවෙකි .ඒකේ දෙකක් නොමැත. හැබැයි ඉතින් රණවිරුවා යන ලේබලය අලවාගෙන ඒ නමට මුවාවී, ඕනෑම ජඩ වැඩක් කල එකෙකුට ඒ නමින් ආමන්ත්‍රණය කළ නොහැකිය. කුමන අන්දමේ ජඩ වැඩක් කළ විරුවා පමණක් නොව සඟයාද ,රාජ්‍ය සේවකයාද ,දේශපාලකයාද වැටෙන්නේ ජඩ ලේබලයටය.
සාමාන්‍ය පුරවැසියෙකුට වඩා විරුවෙකුට දරා ගැනීමේ ශක්තිය, හැකියාව, චිත්ත ධෛරිය, බඩගින්න ඉවසා දරා ගැනීමට මනා පුහුණුවක් ලබා දී තිබේ. ඒක ඇස් පනාපිටම ඔප්පු වුණේ ෆොන්සේකාව කුදලාගෙන යන දවසේය. එහෙම බලනකොට දින අනූවක් පුරාවට ඒ ඉවසීම සලේටත් තිබුනාද කියන්න දන්නේ නැත.
ගෝඨාභයගේ විදෙස් තහනමත් සමග මේ පාස්කු නඩු බෝම්භය මෙලෙස පත්තුවූයේ ඇයි. . ? කඩි ගුලක් මෙන් දේශපාලන ජාතිවාදීන්ද ,ආගම් වාදීන්ද උතුර දකුණ මාරුවූ ලෙසින් හැසිරෙන්නට පටන් ගත්තේ ඇයි….? අද රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ ලෙස සැලකෙන ඒ. ජා.ප ,සජබ ,ශ්‍රි .ල.නි.ප මේ ගොන්නට නොවැටෙන්නේ මන්ද….. ? ඒ ඔවුන් එදා පාලන බලයේ සිටි නිසාත්, එදා කළ කී කතා අනුව ඔවුනට කිසිසේත්ම, යුක්තිය වෙනුවෙන් සිට ගන්නවා මිසක සලේ වෙනුවෙන් සිට ගන්නට නොහැකි නිසාද…..?.එසේ වුවේනම් එදා පාර්ලිමේන්තුවේ හරින් ප්‍රනාන්දුලා, මනුෂ නානයක් කාරලා ඇතුළු ඉහත සියලු දෙනා කළු සාටක බෙල්ලේ රුවා කළ කී දෑ නැවත කරළියට එන්නට පුළුවන.
මාළුවාට වතුර නැතුව ජීවත් විය නොහැක. එලෙසටම දේශපාලකයාටද බලය නැතුව ජීවත් විය නොහැක .ඒකත් විශේෂයෙන්ම ඇමතිකම් දරමින් සුරසැප වින්ද දේශපාලුවන්ට කෙසේවත් ජීවත් විය නොහැක. එහෙම බලනකොට සලේට කර ගසා තිබෙන්නේ ජාතිවාදයත්, ආගම් වාදයත් කරපින්නාගෙන රාජපක්ෂ වන්දනාවේ, පෙරමුණේම කසකරුවන් ලෙස ගමන් කළ විමල් වීරවංශලා, ගම්මන්පිලලා, වීරසේකරලා, චන්න ජයසුමනලාය .මොන උප්පරවැට්ටියකින් හෝ නැවත දියවන්නාව තරණය කර ගිලිහුණු තම බලය ඩැහැගැනීම මිස, වෙනත් කිසිදු අපේක්ෂාවක් මොහුන් තුළ නොමැති බව මොනවට ඔප්පු වෙන්නේ සතියෙන් සතියට කුමක් හෝ මාතෘකාවක් තුළින් එළියට එන නිසාය. ඒ නිසා මොවුන් පිළිබඳව නම් කිසිසෙත්ම කලබල විය යුතු නැත.
කරුමේ කියන්නේ යම් තරමකට හෝ ජනතා ප්‍රසාදයක් දිනා සිටින දිලිත් ජයවීරත් මේ උන්දලාගේ අට මගලට අසුවීමය. අඩුම තරමින් මේ උන්දැලා නේද වඳ කොත්තු, වඳ බ්‍රෙෂියර් කරලියට ගෙනෙමින් දොස්තර සාෆිව උස්සලා පොලී ගැසුවේ කියා වත් දිලිත්ට හිතන්නට තිබුණේය. එහෙම නොවන්නේ චන්නලා, අනුරාදලා ජාතිවාදයේ, ආගම්වාදයේ මව් පියවරුන් නිසාය. කැලණි නයි මිථ්‍යාව පච්චයක් මෙන් ඇඟට වැදී ඇති දිලිත්ට මේකත් වැදුනොත් සර්ව ජනයටත් වෙන්නේ ජනතාව තුළින් ඩිලිට් වෙන්නටය.
රටේ පුරවැසියෙකුට හිමිවන වරප්‍රසාද සහ අයිතිවාසිකම් ඕනෑම සැකකරුවකුට හිමි විය යුතුය. සලේටත් එය එසේමය. සලේට ඇත්තේ බරපතල චෝදනාවක්ය. අධිකරණයේ විද්‍යාත්මක පරීක්ෂණයකින් පසු අනාවරණය වී ඇති තොරතුරු වලට අප කාටත් එරෙහි විය නොහැකිය. වසර හතක් පුරාවට ඇදි ඇදී ගිය බෝලය ,එහෙට මෙහෙට පාස් කරමින් ගිය පාස්කු සෙල්ලමේ අවසන් ප්‍රතිඵල දැන් අගටම ඇවිල්ලාය.
දැන් මේ අභියෝග කරන්නේ අධිකරණයට නොවේද .. ? “රහස් පොලිසිය විසින් ජනාධිපතිගේ නියෝග මත සලේට කරනු ලබන අමානුෂික වද හිංසා “යනුවෙන් ගම්මන්පිලට ප්‍රකාශ කිරීමේ ඇති අයිතිය කුමක්ද …?ඒ සඳහා නීතිය ක්‍රියාත්මක නොවන්නේද……?
මෙලෙස බංකොලොත් දේශපාලකයින් කීප දෙනෙකු ජනතාව කුපිත කරමින් කටයුතු කරද්දී, ආණ්ඩුවේ හරි හමන් එකෙක් මෙහි ඇත්ත නැත්ත පැහැදිලිව රටට හෙළි කිරීමට නොහැකිවීම අභාග්‍යයකි.ඔහුන්මේ රඟපාන පාස්කු වීදි නාට්‍යයට පිළිතුරක් දෙන්න අඩුම තරමින් නීතිය දන්නා නියෝජ්‍ය ඇමති වටගලටවත් හැකිවී නොමැත.
එදා සරත් ෆොන්සේකාට දස වදදී, දෙකට තුනට නමා කුදලන් යනකොට මේ ගෙනියන්නේ “යුද්ධයට පණ දුන් හමුදා නායකයා නේද…?” යැයි ඇසීමට විමල්ලාගේ ,ගම්මන්පිළලාගේ, වීරසේකරලාගේ, ගලබොඩ අත්තෙලාගේ, බෙල්ලන්විලාගේ, ඉඳුරාගාරයේලාගේ මුඛය විවෘත වූයේ නැත්තේ මන්ද …?එදා ෆොන්සේකාට , සලේට මෙන් මෙවැනි චෝදනා නොවීය. තිබුණු එකම චෝදනාව රාජපක්ෂලාට එරෙහිව දේශපාලනයේ නිරත වීමය.
අපිද එදා ෆොන්සේකා බලයට ගෙන ඒමට වැඩ කළ අය වෙමු. ෆොන්සේකාට විතරක් නොව, මාස ගණන් වැඩ තහනම්වී ගෙදර තපින්නට අපිටද සිදුවිය.ඒ නිකම්ම නොව රූපවාහිනියේ අපි දහතුන් දෙනකු” රාජ්‍ය විරෝධීන් ” ලෙස හංවඩු ගසා රස්සාවෙන් දොට්ට දමමින්ය. එදා ෆොන්සේකාගේ බිරිඳ ද,රුවන් පමණක් නොව අපේ දරුවන්ද වින්ද වේදනාවන් දන්නේ අප පමණය. ෆොන්සේකා සිරබත් කමින්, බිරිද සිරගෙවල් ගානේ ඇවිදිමින් වින්ද දුක් කන්දරාව ගැන අද බොහෝ ඇත්තන්ට අමතකය .හැබැයි එදා ෆොන්සේකා එකෙකුටුවත් දෙකට නැමෙන්න ගියේ නැත. උපවාස කරන්නද ගියේ නැත. හොටු පෙරුවේද නැත .ඔහු හිටියේ ද සිංහ ළීලාවෙනි. ඒ තමයි සැබෑ සොල්දාදුවා….සැබෑ රණවිරුවා.
අද සලේගේ බිරිඳ මෙන්, එදා ෆොන්සේකාගේ බිරිඳ හැසිරුනේද නැත. තම ස්වාමියාට සර් කියන්නද ගියේ නැත.
” මගේ හස්බන් ඉනසන්ට්” එහෙම කියන්නේ සලේගේ බිරිඳය.ඕනැම බිරිඳක් එහෙමය.ඒකේ ඇත්ත නැත්ත හෙළි වියයුත්තේ අධිකරණයෙන්ය.
හැබැයි ඉතින් කෙහෙල් බද්දර පද්මෙලාගේ ,වෙලේසුදලාගේ, බැකෝ සමන්ලාගේ. මාකඳුරේ මධුෂ්ලාගේ බිරින්දෑවරුන්ද ඉංග්‍රීසියෙන් නොකිව්වාට සිංහලෙන් කියන්නේ තම ස්වාමියා නිර්දෝෂයි කියලාය.ඒ තියා තාජුඩින් ඝාතනය, ක්‍රිෂ් ගනුදෙනුව ඇතුළු නඩු රොත්තක් තියෙන නාමල්ගේ බිරිඳද කියන්නේ තම හස්බන්ඩ් ඉනසන් කියලාය. එහෙම බලනකොට මුළු වැලිකඩම ඉනසන් වෙන්නට පුළුවන්ය.
සැකකරුවෙකුට බෝධි පූජා පැවැත්වීම ඕනෑම පින්වතෙක්ට කල හැකිය. ඒක ඔවුන්ගේ කැමත්තය. හැබැයි ඉතින් කටුවා පිටියේ, කොච්චි කඩේ දේවස්ථානවල මියගිය අහිංසකයින් මෙන්ම ආබාධිතයින් වෙනුවෙන්ද මේ අය දේව මෙහෙයන් කරනවානම් වටිනාකම කියන්නට බැරිය.ඒක ඉතින් මුන්දලාගෙන් මේ කපේ වෙන්නෙත් නැත.ලක්ශ ගනනින් දුම්රිය පොළ ඉදිරියට පැමිණෙන ලෙස කල ඉල්ලීමට ආපු සෙනග දැක්කාහම විමල්ලාටම දුක හිතෙන්ට ඇතිය.මිනිසුන් සිට ගන්නේ කා වෙනුවෙන්ද යන්න ඉන් ඔප්පුවිය.
” චන්ද කුට්ටිය….. සල්ලි කුට්ටිය බලාගෙන දෙමළ ඩයස්පෝරාවේ උවමනාවට මේ කරන වැඩේ නින්දිතයි ” කියලා ඊයේ වොයිස් කට් එකක් දුන්නේ පෝහොට්ටුවේ සංජීව එදිරිමාන්නය. නිකන්ම නොව ටිරාන් අලස්වත් ළඟ තියාගෙනය. සල්ලි කුට්ටි දුන්නේ කාටද….? ගෙනිච්චේ කවුද ….? කියලා ටිරාන්ගේ කනට කරලා අහන්න සංජීවට හැකි වූවා නම් නිසි පිළිතුරු ටිරාන් ගෙන්ම ලැබෙනවාය.
කොහොමත් රට වැසියන් සිට ගත යුත්තේ කාවෙනුවෙන්ද යන්න තීරණය කිරීම ඔවුන්ගේ අයිතියකි.අපිට ඇත්තේ වැළලී යන්නට ගිය අභිරහසක සත්‍යය යුක්තියක් වී එළියට එන සැටි බලන් ඉන්නටය.
හැබැයි ඉතින්( රාජපක්ෂලාගේ) කුම්භලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ කියලා කියමනක් තියෙන්නෙත් කට කහනවාට නොවේය.
ෂර්ලි අනිල් ද සිල්වා
2026.06.09

