කපිල පෙරේරාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk 

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස පත් කළ ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතාට සේවය අවශ්‍ය නොවන බව දැනුම් දෙමින් ඔහු අවමානයට හා මානසික පීඩාවට පත් කිරීම මඟින් එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ සඳහා විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගේ එකඟත්වයද හිමිව තිබුණි.

පෙත්සම්කරු සඳහන් කර තිබුණේ, 2024 දෙසැම්බර් 18 වනදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කළ ලිපියක් මඟින් තමන් අතිරේක ලේකම් තනතුරට පත් කළ බවයි. එදිනම සේවයට වාර්තා කළ අවස්ථාවේ අමාත්‍යාංශ ලේකම්වරයා තම සේවය අවශ්‍ය නොවන බව පවසමින් කාර්යාලයෙන් පිටව යන ලෙස දැනුම් දුන් බවද ඔහු චෝදනා කර තිබුණි.

මෙම ක්‍රියාව හේතුවෙන් තමන් දැඩි අවමානයට සහ මානසික කනස්සල්ලට පත් වූ බව සඳහන් කළ පෙත්සම්කරු, සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අධිකරණය හමුවට පැමිණ තිබුණි.

තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේ අතිරේක ලේකම්වරුන් පත් කිරීමේ බලය රාජ්‍ය සේවා කොමිෂන් සභාව සතු වන අතර, එම තීරණයට අමාත්‍යාංශ ලේකම්වරයා මැදිහත් වීම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බලතලවලට අත තැබීමක් බවයි.

එමෙන්ම, රාජ්‍ය නිලධාරියෙකු ලෙස ජනතාව තබා ඇති විශ්වාසය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බවද, පත් කිරීම් හා මාරු කිරීම් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ව්‍යවස්ථාපිත බලතලවලට මැදිහත් වීම බරපතළ කාරණයක් බවද අධිකරණය අවධාරණය කළේය.

ඒ අනුව, පෙත්සම්කරුගේ ගෞරවනීය අයිතිය සහ නීතිය ඉදිරියේ සමාන සැලකිල්ල ලැබීමේ මූලික අයිතිවාසිකම උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ අතර, වන්දි හෝ නඩු ගාස්තු සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන බවද සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *