අපරාධ සිදුවීම් රැසක් ගැන පොලිස් විමර්ශන කඩිනම් කිරීමට උපදෙස්


October 13, 2024

asianewsplusone.com sfmnewslk.com

අපරාධ සිදුවීම් රැසක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන කඩිනම් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය විශේෂ නියෝගයක් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසනවා.

මහ බැංකු බැඳුම්කර සිදුවීම, පාස්කු ප්‍රහාරය ඇතුලු පසුගිය සමයේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ සහ සිදුවීම් සම්බන්ධයෙන් මෙලෙස කඩිනම් පරීක්ෂණ ආරම්භ කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත මෙම උපදෙස් නිකුත් කර ඇති බව සඳහන්.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාළ විමර්ශනය, පාස්කු ප්‍රහාරයට අදාළව සිදු කරන විමර්ශන, දිනේෂ් ශාෆ්ටර් මහතාගේ සිය දිවි නසා ගැනීමේ සිදුවීමට අදාළ විමර්ශනය, 2007 වසරේදී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කළ මහාචාර්ය රවීන්ද්‍රනාත් සුබ්‍රමනියම් මහතාගේ අතුරුදන්වීම සම්බන්ධ විමර්ශන, 2023 දෙසැම්බර් 31 දින වැලිගම පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් W15 හෝටලය ඉදිරිපිට සිදු කළ වෙඩි තැබීමකදී පොලිස් කොස්තාපල්වරයෙක් මිය යෑමේ සිදුවීම, 2005 වසරේ බම්බලපිටිය පොලිස් ස්ථනය ඉදිරිපිටදී භාරතී ශිවරාම් නොහොත් ධර්මරත්නම් ශිවරාම් නමැති මාධ්‍යවේදියෙකු පැහැර ගැනීම පිළිබඳ විමර්ශන සහ යාපනය ප්‍රදේශයේදී 2011 වසරේදී අතුරුදන් වූ ලලිත් කුමාර් සහ කූගන් මුරුගනාදන් යන පුද්ගලයින් සම්බන්ධ විමර්ශන මෙලෙස කඩිනම් කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් දැනට සිදුකෙරෙන විමර්ශන කටයුතු කඩිනම් කිරිමටත් ඒවාහි ප්‍රගතිය ප්‍රමාණවත් නොවන නිසා එම ප්‍රගතිය කඩිනමින් ඉදිරිපත් කරන ලෙසත් මහජන ආරක්ෂක අමාත්‍යංශය මඟින් උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්තිපති නීතීඥ නිහාල් තල්දූව මහතා තවදුරටත් සඳහන් කළා.

https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *