පොලිසියේ 210ක් මාරුකරන්න පොලිස්පති කරපු ඉල්ලීම පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කර ඇත?

July 27, 2024

පොලිස් නිලධාරීන් 210 දෙනකු එකවර ස්ථාන මාරු කිරීම සඳහා පොලිස්පතිවරයා කළ ඉල්ලීම ජාතික පොලිස් කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ, අනුමත ස්ථාන මාරු ප්‍රතිපත්තියට අනුකූලව නිර්දේශ ඉදිරිපත් නොකිරීම හේතුවෙනි.

පොලිස් කොමිසම පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත්තේ, ජනාධිපතිවරණය ආසන්නව තිබියදී එලෙස ස්ථාන මාරුවීම් විශාල සංඛ්‍යාවක් ලබාදීම යෝග්‍ය නොවන බවයි.

එහෙත්, විනය කටයුතු සහ වෛද්‍ය නිර්දේශ සළකා බලා ඉන් 24 දෙනකුට පමණක් ස්ථාන මාරුවීම් දීමට පොලිස් කොමිසම අනුමැතිය දී ඇත.

ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරුන් 14 දෙනකු එම ධුරයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා යොමුකරන ලෙස පොලිස් කොමිසම නිර්දේශ කර ඇත්තේ, කඩිනමින් විනය පරික්ෂණයක් පවත්වා වාර්තා ලබාදෙන්නැයි ද දැනුම් දෙමිනි.

අදාළ විනය පරික්ෂණයේදී ඔවුන් විනය ක්‍රියාමාර්ගවලින් නිදහස් වන බව තහවුරු වුවහොත්, මීට පෙර හොබවන ලද ස්ථානාධිපති ධුරයට සමාන ශ්‍රේණියක ස්ථානාධිපති ධුරයක් සඳහා යොදවන ලෙස ද නියම කර තිබේ.

පොලිස් කොමිසම සඳහන් කර ඇත්තේ, දැනට දරන ස්ථානාධිපති ධුරයෙන් ඉවත් කොට සාමාන්‍ය රාජකාරී සඳහා අනුයුක්ත කරන්නැයි පොලිස් ස්ථානාධිපතිවරුන් 8 දෙනකු කළ ඉල්ලීමට ද අනුමැතිය දුන් බවයි.

වෛද්‍ය නිර්දේශ මත සෞඛ්‍ය තත්ත්වය සළකාබලා සාමාන්‍ය රාජකාරී සඳහා යොදවන්නැයි තවත් ස්ථානාධිපතිවරුන් දෙදෙනකු කළ ඉල්ලීමට ද කොමිසමේ අනුමැතිය හිමිව ඇත.

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *