චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන – අරාබි රාජ්‍ය සහයෝගිතා සංසදයේ 10 වැනි අමාත්‍ය සමුළුවේ සමාරම්භක උළෙලට ඊයේ (30) සහභාගී වුණා.
බෙයිජිං අගනුවර දී පැවැත්වුණු එම සමුළුව අමතමින් චීන ජනපතිවරයා එහි ප්‍රධාන දේශනය පැවැත්වුවා.
එහිදී චීන ජනපතිවරයා පැවසුවේ අරාබි රටවල් සමග එක්ව චීන-අරාබි රාජ්‍ය සම්බන්ධතාව ලෝක සාමය හා ස්ථාවරත්වය සහතික කිරීම පිළිබඳ ආදර්ශ සබඳතාවක් ලෙසට සංවර්ධනය කිරීම චීනයේ අපේක්ෂාවක් බවයි.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට හා මූලධර්මයන්ටත්, විවිධ රටවල ජනතාවගේ තෝරාගැනීම් හා ඓතිහාසික සත්‍යයන්ටත් ගරු කරමින්, උග්‍ර වී ඇති ප්‍රශ්නවලට තිරසර විසඳුම් සොයා ගැනීම සඳහා අරාබි රටවල් සමග එක්ව ප්‍රයත්න දැරීමට චීනය සූදානම් බවත් ෂී ජින් පිං මහතා අවධාරණය කළා.
එසේම චීන – අරාබි ද්විපාර්ශ්වික සංවර්ධනය කඩිනම් කිරීම සඳහා අරාබි රාජ්‍යයන් සමග එක්ව ‘පංච සහයෝගිතා ක්‍රමවේදයක්’ ගොඩනැගීමට චීනය සූදානමින් සිටිනවා.
ඊට ප්‍රාණවත්භාවයෙන් සපිරි නවෝත්පාදන බිහිකිරීම, විශාල පරිමාණයේ ආයෝජන හා මූල්‍ය සේවා, විවිධත්වයෙන් යුතු බලශක්ති සහයෝගිතාව, සමබර, අන්‍යෝන්‍ය ප්‍රතිලාභී ආර්ථික සහ වෙළඳ පටිපාටි මෙන්ම පුළුල් මානව හා සංස්කෘතික හුවමාරු මේ පංචවිධ ක්‍රමවේදයට ඇතුළත් වන බව විදෙස් මාධ්‍ය පවසනවා.
සීමාවකින් තොර යුද්ධයටත්, යුක්තිය අහෝසි වී යාමටත් තවදුරටත් ඉඩ නොතැබිය යුතු බව සඳහන් කළ චීන ජනාධිපතිවරයා ‘ද්වීරාජ්‍ය විසඳුම’ නොසැලී ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කළා.
1967 දේශසීමාව මත පදනම් ව නැගෙනහිර ජෙරුසලම අගනුවර කර ගනිමින් පූර්ණ ස්වාධීනත්වය හිමි පලස්තීන රාජ්‍යයක් ස්ථාපනය කිරීමට චීනයේ ස්ථිර සහාය හිමි වනවා.
එසේම, පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා ගැනීමටත්, වඩාත් ඵලදායී ජාත්‍යන්තර සාම සාකච්ඡා පැවැත්වීමටත් සහාය දෙන බව ඔහු ප්‍රකාශ කළා.
