ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්කළ මැතිවරණ මෙහෙයුම් කමිටු සාකච්ඡා සඳහා බැසිල් රාජපක්ෂ මේ වන විට වාර දෙකක් සහභාගි වී ඇතැයි
කරුණු වාර්තා වෙන අතර එම හේතුව නිසා එම කමිටු රැස්වීම් අවස්ථා දෙකම රනිල් වික්‍රමසිංහ ට සහාය පළකිරීම සඳහා පිහිටුවා ඇති නිමල් ලංසාගේ සන්ධානයේ නියෝජිතයන් විසින් වර්ජනය කරනු ලැබ ඇතැයි වාර්තා වෙයි.
සෑම සතියකම සඳුදා දිනයේදී මෙම කමිටුව රැස්ව මැතිවරණ මෙහෙයුම් පිළිබඳව සාකච්ඡා පවත්වන බව දැන ගන්නට ලැබෙන අතර එම රැස්වීම සඳහා රාජපක්ෂවරුන් පැමිණෙන්නේ නම් තම කණ්ඩායම ඊට සහභාගි නොවන බවට නිමල් ලංසාගේ සන්ධානයේ නායකයින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවත් කරුණු වාර්තා වෙයි.
මේ අතර නිමල් ලන්සාගේ සන්ධානයේ නායකයන් සහ ශ්‍රීලනිප නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වයේ නායකයන් පසුගිය 8 වෙනිදා පාර්ලිමේන්තුවේ නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයාගේ කාමරයේදී සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ද මෙම කරුණු සාකච්ඡාවට ලක්වී ඇත.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා ප්‍රකාශ කර ඇත්තේ තම සන්ධානය සමග සිටින මන්ත්‍රීවරුන් 40 ක් පමණ රාජපක්ෂවරුන් සහභාගි වන ජන රැලියකට හෝ සහභාගි නොවෙන්නට තීරණයක් ගෙන ඇති බවය.
