ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගත හැකියි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමට මෙන්ම, රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීමේ සහ නිරෝගී ජනතාවක් බිහිකිරීමේ අරමුණින් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ 2027 වසරේ අයවැය යෝජනා පිළිබඳව අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් බවට බෝ නොවන රෝග පත්ව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම අභියෝගයට මුහුණදීම සඳහා ක්‍රීඩාවට පුළුල් කාර්යභාරයක් ඉටු කළ හැකි බව සඳහන් කළේය. ඒ වෙනුවෙන් ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇති කරමින්, ක්‍රියාශීලී සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම සඳහා වැඩි වශයෙන් ක්‍රීඩාවට යොමු කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම, දිවයින පුරා ඇවිදීමේ මංතීරු ඉදිකර තිබුණද, ඇතැම් ප්‍රදේශවල ඒවායේ අපේක්ෂිත ප්‍රයෝජනය නිසි පරිදි අත්කර ගැනීමට නොහැකි වී ඇති බැවින්, එම පහසුකම් ප්‍රයෝජනයට ගැනීම සඳහා ජනතාව දිරිගන්වන නව වැඩසටහන් හඳුන්වාදීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

දිවයින පුරා පිහිටි ක්‍රීඩාංගණ, ඇවිදීමේ මංතීරු සහ ගෘහස්ථ ක්‍රීඩාංගණ පිළිබඳ නිවැරදි සහ යාවත්කාලීන දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමෙන් මෙම වැඩසටහන් නිසි ලෙස සැලසුම් කිරීමට හැකි වනු ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ජාත්‍යන්තර මට්ටමට ඉහළ නැංවීම සඳහා ජාතික ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයක් පිහිටුවීම, අනුරාධපුරයේ මීටර් 400ක කෘත්‍රිම ධාවන පථයක් ඉදිකිරීම, දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පවතින අඩුපාඩු සම්පූර්ණ කර එය සංවර්ධනය කිරීම සහ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය වැඩිදියුණු කිරීම මෙන්ම ක්‍රීඩා වෛද්‍ය ආයතන හා විශ්වවිද්‍යාල ඒකාබද්ධව ක්‍රීඩාව සහ ව්‍යායාම සම්බන්ධයෙන් සිදු කරන පර්යේෂණ කටයුතු ඇතුළු 2027 වසරේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

යොවුන් සේනාංකය සහ ජාතික තරුණ සේවා සභාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්වල ප්‍රගතිය මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳවද මෙහිදී සමාලෝචනය කෙරිණි.

තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් එස්. අච්චුදන්, ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න, ජාතික යොවුන් සේනාංකයේ සභාපති නලින් රදම්පල යන මහත්වරුද, මුදල් අමාත්‍යාංශයේ සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *