www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
නුවරඑළියේදී ඇරඹේ
BASF සන්රක්ෂන් කිට් ශ්රී ලංකාවට හඳුන්වා දෙයි – ගොවීන් 4,500කට ආරක්ෂක ඇඳුම් කට්ටල නොමිලේ
පළිබෝධනාශක භාවිතයේදී ගොවීන් මුහුණ දෙන සෞඛ්ය අවදානම් අවම කරමින් ඔවුන්ගේ ජීවිත හා වෘත්තීය ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් BASF සන්රක්ෂන් කිට් (BASF Sanrakshan Kit) ආරක්ෂක ඇඳුම් කට්ටලය ශ්රී ලංකාවට හඳුන්වාදීමේ ජාතික වැඩසටහන කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්රමාරච්චි මහතාගේ ප්රධානත්වයෙන් (28) සවස නුවරඑළියේදී පැවැත්විණි.
පළිබෝධනාශක නිසි ආරක්ෂක ක්රමවේද අනුගමනය නොකර භාවිත කිරීම හේතුවෙන් ගොවීන් විෂවීම්, විවිධ රෝගී තත්ත්වයන් සහ ජීවිත අවදානම්වලට මුහුණ දීමේ හැකියාව පවතින බැවින්, ඒ සඳහා නිසි ආරක්ෂක පියවර අනුගමනය කිරීමේ වැදගත්කම මෙම ජාතික වැඩසටහන මඟින් අවධාරණය කෙරිණි.
මෙම වැඩසටහනට සමගාමීව පළිබෝධනාශක භාවිතයේදී ගොවීන් අනුගමනය කළ යුතු ආරක්ෂක මාර්ගෝපදේශ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් ද කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්රමාරච්චි මහතා විසින් පවත්වන ලදී.
එහිදී පළිබෝධනාශක භාවිතයේදී ගොවීන් තම සෞඛ්යය හා ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව පැහැදිලි කළ අධ්යක්ෂ ජනරාල්වරයා, නිසි ආරක්ෂක ක්රමවේදවලින් තොරව පළිබෝධනාශක භාවිත කිරීමෙන් විෂ ශරීරගත වීම, විවිධ රෝගී තත්ත්වයන් ඇතිවීම මෙන්ම ජීවිත අවදානම් ද මතුවිය හැකි බව පෙන්වා දුන්නේය. එබැවින් පළිබෝධනාශක භාවිතයේදී ප්රමිතියෙන් යුත් ආරක්ෂක ඇඳුම් කට්ටල පැළඳීම, නිෂ්පාදන ලේබලයේ සඳහන් උපදෙස් නිවැරදිව පිළිපැදීම සහ නිර්දේශිත ආරක්ෂක ක්රමවේද අනුගමනය කිරීම අත්යවශ්ය බව ද ඔහු අවධාරණය කළේය.
ගොවියාගේ ආරක්ෂාව ඔහුගේ පෞද්ගලික සෞඛ්යයට පමණක් සීමා නොවන බවත්, පළිබෝධනාශකවලට නිරාවරණය වූ ඇඳුම් හා උපකරණ නිසි ලෙස පිරිසිදු කිරීම, රසායනික ද්රව්ය දරුවන්ට ළඟා විය නොහැකි ස්ථානවල ආරක්ෂිතව ගබඩා කිරීම සහ ඒවා ආහාරපානවලින් වෙන්කර තැබීම මඟින් පවුලේ සාමාජිකයන් ද ආරක්ෂා කරගත යුතු බවත් ඔහු පැහැදිලි කළේය.
එමෙන්ම පළිබෝධනාශක භාවිතයෙන් පසු දෑත් හා ශරීරයේ නිරාවරණය වූ කොටස් හොඳින් පිරිසිදු කිරීම, භාවිතයෙන් පසු ඇඳුම් වෙනම සෝදා පිරිසිදු කිරීම සහ රසායනික ද්රව්ය ජල මූලාශ්රවලට එක්වීම වැළැක්වීම මඟින් ගොවීන්ගේ සෞඛ්යය මෙන්ම පවුලේ සාමාජිකයන්ගේ සහ පරිසරයේ ආරක්ෂාව ද තහවුරු කරගත හැකි බව අධ්යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.
ප්රමිතිය තහවුරු කළ ආරක්ෂක ඇඳුම් කට්ටලයක් මෙරටට ගෙන්වා බෙදාහැරීමේ අවශ්යතාව පැවතිය ද, ඒ සඳහා ආයතනයක් ඉදිරිපත් නොවූ පසුබිමක BASF ආයතනය මූලිකත්වය ගෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙම ආරක්ෂක ඇඳුම් කට්ටල මෙරටට ගෙන්වා බෙදාහැරීමේ කටයුතු සිදු කිරීමට පියවර ගෙන තිබේ.
මෙහිදී අදහස් දැක්වූ BASF ලංකා ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ අජිත් වික්රමසේකර මහතා සඳහන් කළේ, ආයතනයේ අනුග්රාහක දායකත්වය යටතේ දිවයින පුරා ගොවීන් දැනුවත් කරමින් ගොවි මහතුන් 4,500 දෙනකුට මෙම ආරක්ෂක ඇඳුම් කට්ටල නොමිලේ බෙදාදීමට සැලසුම් කර ඇති බවයි.
නුවරඑළියේ පැවැති මෙම සමාරම්භක වැඩසටහනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් (පර්යේෂණ) ආචාර්ය ජේ.ඒ. සුමිත්, මධ්යම පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ ජයලත් බණ්ඩාර, නියෝජ්ය කෘෂිකර්ම අධ්යක්ෂ රංගන චන්ද්රසිරි, නුවරඑළිය සීතාඑළිය පර්යේෂණ ආයතනයේ ප්රධාන අධ්යක්ෂ ආචාර්ය අභයතිලකරත්න, කෘෂිකර්ම සංවර්ධන නියෝජ්ය කොමසාරිස් ශ්රීනාත් රූපසිංහ, පළිබෝධනාශක කාර්යාලය නියෝජනය කරමින් සහකාර අධ්යක්ෂ මොහාන් හතුරුසිංහ, BASF ලංකා ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ අජිත් වික්රමසේකර, කළමනාකාර සඳරේකා රූපසිංහ සහ ප්රවර්ධන කළමනාකරු එරංග ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙම අවස්ථාවට ප්රතිලාභී ගොවි මහත්වරුන් 180කට ආසන්න පිරිසක් ද එක්ව සිටියහ.
