www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
ගැනුම්කරුවන්ගෙන් අඩු උනන්දුවක්
හැටන් දික්ඔය නගර සභාවේ විශේෂ සභා රැස්වීමක්.
හැටන් දික්ඔය නගර සභාවට අයත් ඉඩම් කොටස් දීපාවලී උත්සව සමයේ තාවකාලික වෙළෙඳ කුටි පවත්වාගෙන යාම සඳහා වෙන්දේසි කිරීමේදී නගර සභාව නියම කළ මිල ගණන් අධික බව පවසමින් ඒ සඳහා ඉදිරිපත් වීමට නොහැකි බව වෙන්දේසියට සහභාගී වූ වෙළෙඳුන් හා ජනතාව ප්රකාශ කිරීම හේතුවෙන් ඉඩම් කොටස් කිහිපයක් අලෙවි නොවී ඉතිරිව තිබේ.
පසුගිය සතියේ පැවැති වෙන්දේසියෙන් අලෙවි නොවූ ඉඩම් කොටස් නැවත වෙන්දේසි කිරීමට ඊයේ (21) කටයුතු කළ ද, නියම කර ඇති මිල ගණන් හේතුවෙන් ඒවා සඳහා ඉල්ලුම් නොකරන බව පැමිණ සිටි වෙළෙඳුන් හා ජනතාව ප්රකාශ කර ඇත.
මේ සම්බන්ධයෙන් සහ දීපාවලී උත්සව සමය වෙනුවෙන් තාවකාලික වෙළෙඳ කුටි සඳහා ඉඩම් වෙන් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හැටන් දික්ඔය නගර සභාවේ විශේෂ සභා රැස්වීමක් ඊයේ (21) නගර සභා සභාපති අශෝක කරුණාරත්න මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
මෙම රැස්වීමට විපක්ෂයේ සියලුම මන්ත්රීවරුන් සහභාගී වී සිටි අතර, පාලක පක්ෂය නියෝජනය කරමින් සහභාගී වී සිටියේ සභාපතිවරයා පමණි.
වෙන්දේසියෙන් අලෙවි නොවී ඉතිරි වූ ඉඩම් කොටස් කට්ටි වශයෙන් අලෙවි කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ඉදිරියේදී දීපාවලී වෙළෙඳ ඉඩකඩම් විකිණීමේ කමිටුව මගින් ගනු ලබන බව සභාපති අශෝක කරුණාරත්න මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
