www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
ශ්‍රී ලංකාවේ වනාන්තර සම්පත අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන “වනස්පති” ජාතික වැඩසටහන යටතේ තවත් වනාන්තර 20ක් රක්ෂිත වනාන්තර ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම වැඩසටහන අද (26) නුවරඑළිය සඳතැන්න වන විද්‍යාලයේදී පැවැත්විණි.
ජාතික ධජය එසවීමෙන් වැඩසටහන ආරම්භ වූ අතර, අනතුරුව සඳතැන්න වන විද්‍යාලයේ ස්ථාපිත කර ඇති කෞතුකාගාරය පරිසර අමාත්‍යවරයා විසින් නිල වශයෙන් විවෘත කරන ලදී.
ඉන් අනතුරුව ප්‍රධාන ශාලාවේ මංගල පහන් දැල්වීමේ උත්සවය පැවැත්වූ අතර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයට බඳවාගත් නිලධාරීන් වෙත පත්වීම් ලිපිද අමාත්‍යවරයා විසින් පිරිනමන ලදී.
ඉන් අනතුරුව රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කරන ලද වනාන්තර 20ට අදාළ ගැසට් නිවේදන සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා අත්සන් තැබීය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා, වන සංරක්ෂක ජනරාල් එස්.සී. පාලමකුඹුර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.
ඒ අනුව අද දිනයේ නුවරඑළිය, කෑගල්ල, අම්පාර, බදුල්ල, වව්නියාව සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල පිහිටි වනාන්තර 20ක් රක්ෂිත වනාන්තර ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම වනාන්තර 20හි සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර 9,538කට ආසන්න බව සඳහන් වේ.
වත්මන් රජයේ පරිසර අමාත්‍යාංශය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ යටතේ මේ වන විට වනාන්තර 93ක් රක්ෂිත වනාන්තර ලෙස ගැසට් කර තිබේ. අද ප්‍රකාශයට පත් කළ වනාන්තරද සමඟ එම රක්ෂිත වනාන්තරවල සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර 65,000කට ආසන්න වේ.
ශ්‍රී ලංකාවේ වටිනා වනාන්තර සම්පත සහ ජෛව විවිධත්වය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීමේ අරමුණින් “වනස්පති” ජාතික වැඩසටහන 2025 වසරේ ලෝක පරිසර දිනයේදී ආරම්භ කරන ලදී.
මෙම වැඩසටහන යටතේ නිවර්තන තෙත් සදාහරිත වනාන්තර, කඳුකර හා උපකඳුකර වනාන්තර, නිවර්තන වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, අතරමැදි කලාපීය අර්ධ සදාහරිත වනාන්තර, වෙරළබඩ සහ කඩොලාන වනාන්තර ඇතුළු විවිධ වනාන්තර පරිසර පද්ධති රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
2025 වසරේ ලෝක පරිසර දිනයේ සිට 2026 වසරේ ලෝක පරිසර දිනය දක්වා වසරක කාලය තුළ පමණක් වනාන්තර 86ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, ශ්‍රී ලංකා ඉතිහාසයේ වසරක් තුළ රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළ වැඩිම වනාන්තර සංඛ්‍යාව මෙය බව සඳහන් වේ.
“වනස්පති” යනු හුදෙක් ගස් සිටුවීමේ වැඩසටහනක් නොවේ. විද්‍යාත්මක පර්යේෂණ සහ ප්‍රාදේශීය ප්‍රජාවගේ සහභාගීත්වය මත පදනම්ව, වනාන්තර පරිසර පද්ධති දිගුකාලීනව ආරක්ෂා කර කළමනාකරණය කිරීම අරමුණු කරගත් උපායමාර්ගික වැඩපිළිවෙළක් ලෙස එය ක්‍රියාත්මක වේ.
මේ අතර, අද නුවරඑළිය සඳතැන්න වන විද්‍යාලයේ පැවති වැඩසටහනේදී ගැසට් මගින් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළ වනාන්තර 20හි විශේෂතා සහ භූමි ප්‍රමාණයන් ඇතුළු වැඩිදුර තොරතුරුද ඉදිරිපත් කරන ලදී.

