විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවට පළවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

දැනට සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස මෙම අවස්ථාවේදී සංශෝධනය කිරීම, අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමේ උත්සාහයක් ලෙස මහජනතාව විසින් අර්ථකථනය කිරීමට ඉඩ ඇති බව එම ලිපියේ සඳහන් වේ.

දිගුකාලීන ප්‍රතිපත්තියකින් හෝ සැලසුමකින් තොරව එවැනි පියවරක් ක්‍රියාත්මක කිරීම අධිකරණ පද්ධතියේ ගෞරවයට මෙන්ම විනිසුරුවරුන්ගේ ස්ථානයටද හානිකර විය හැකි බව නීතිඥ සංගමය පෙන්වා දී ඇත.

එමෙන්ම, මෙවැනි සංශෝධනයක් ඉදිරියට ගෙන යාම අනාගත රජයන්ටද අධිකරණ කටයුතු සම්බන්ධයෙන් කෙටි කාලීන අරමුණු මත ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමට මාර්ගය විවෘත කරන භයානක පූර්වාදර්ශයක් විය හැකි බවද එහි අවධාරණය කර තිබේ.

අධිකරණයේ ස්වාධීනත්වය සහ එය පිළිබඳ මහජන විශ්වාසය නීතියේ ආධිපත්‍යයේ මූලික පදනම් බව සඳහන් කරන නීතිඥ සංගමය, අධිකරණය සැබෑ ලෙසම ස්වාධීන සහ අපක්ෂපාතී ආයතනයක් ලෙස මහජනතාවට පෙනී සිටීම අතිශයින් වැදගත් බවද ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම සඳහා යෝජිත කිසිදු ව්‍යවස්ථාමය සංශෝධනයක් ඉදිරියට නොගෙන යන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ අඛණ්ඩතාව, ගෞරවය සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳ ජනාධිපතිවරයා අවධානය යොමු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පුර්න විස්තර සහිත ලිපිය පහල දැක්වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *