මහනුවර දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීම් කඩිනම් කරන්න – ජනපතිගෙන් නිළධාරීන්ට උපදෙස් දෙයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

දිට්වා ආපදා තත්ත්වයෙන් නිවාස අහිමි වූ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව නැවත පදිංචි කිරීම් කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඒ සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියෙහි ප්‍රගතිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් විමසා බැලු ජනාධිපතිවරයා මතුව ඇති ගැටලු නිරාකරණය කර ගනිමින්, එම කටයුතු කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ඉයේ (12) පස්වරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මහනුවර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

ආපදා තත්ත්වයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 12,169කට අර්ධ හානි සිදුව තිබෙන අතර නැවත පදිංචි කළ යුතු අධිඅවදානම් අර්ධ හානි 1583ක්, ගෙවීම් ගැටලු සහිත අර්ධ හානි 2304ක් සහ NBRI පරික්ෂා කළ යුතු සහ වාර්තා ලැබිය යුතු නිවාස 3795ක් පවතී.

ඒ අනුව දැනට නිශ්චිත ගෙවීම් සිදු කළ හැකි නිවාස ප්‍රමාණය 4488ක් වන අතර එයින්, 3038ක ප්‍රමාණයක් වෙනුවෙන් මේ වන විට ගෙවීම් සිදු කර තිබෙන බව නිලධාරීන් පෙන්වා දුන්හ. ඉතිරි නිවාස සඳහාද ගෙවීම් කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම, අධිඅවදානම් කලාපවලට අයත් වීම හේතුවෙන් වෙනත් ස්ථානවල පදිංචි කළ යුතු පවුල් වෙනුවෙන් ඉඩම් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, අධිඅවදානම් කලාපවල, ජනතාව පදිංචි වීම වැළැක්වීම රජයේ වගකීම බවත්, ඊට අදාළ තීන්දු තීරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

පෞද්ගලික වතුවල ජීවත් වන නැවත පදිංචි කළ යුතු වතු ජනතාවට සහන සැලසීම පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා විශේෂ අවධානය යොමු කළ අතර නැවත පදිංචි කිරීම් සඳහා යෝජිත දැනට පෞද්ගලික සමාගම් භුක්තිවිඳින රජයේ ඉඩම් කඩිනමින් නිදහස් කර ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.

තනි නිවාස නොවන නැවත පදිංචි කිරීමේ නිවාස ව්‍යාපෘතිවල යටිතල පහසුකම් සඳහා ප්‍රතිපාදන ලබා දීම මෙන්ම අර්ධ නිවාස හානි සඳහා ගෙවීම් සිදු කළ නොහැකි නිවාස ඉදිරියෙන් ඇති භූමිය ස්ථාවරව තබා ගැනීම සඳහා පැති බැමි සකස් කර ගැනීම සඳහා වූ වැඩපිළිවෙළ පිළිබඳවද සාකච්ඡා විය.

ව්‍යාපාර හානි ගෙවීම් සහ ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල විචලනය පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර මිල විචලනය පිළිබඳ මතුව ඇති ගැටලුවට ලබන සතිය තුළ විසදුමක් ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *