අදත් ගිගුරුම් සහිත තද වැසි 

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටි මුහුදු කලාපයේ සක්‍රීයව පවතින අඩුපීඩන තත්ත්වය හේතුවෙන් දිවයින පුරා වැසි සහිත කාලගුණය ඉදිරි දින කිහිපය තුළද පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියට අනුව, අදාළ අඩුපීඩන කලාපය ඉදිරි දිනවල උතුරු දෙසට ගමන් කිරීමට ඉඩ ඇති අතර, එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තවදුරටත් වැසි සහ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලට මෙන්ම අනුරාධපුර, ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇතිවිය හැකි බව සඳහන්ය. අනෙකුත් ප්‍රදේශවල පස්වරු 1.00න් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද පෙන්වා දෙයි.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලට අමතරව අම්පාර, මඩකලපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ලැබීමේ හැකියාව පවතින බව අනතුරු අඟවා තිබේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු හා තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ අතර, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් 10.1N සහ 83.5E ආසන්නයේ පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවලද සුළං වේගය සහ වැසි තත්ත්වය වැඩිවිය හැකි බව දැනුම් දෙයි.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද සඳහන්ය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බැවින්, ධීවර සහ නාවික ප්‍රජාව කාලගුණ නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස කාලගුණ අංශය ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *