ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට ජනපති ගෙන යන වැඩපිළිවෙළ ජපාන විදේශ අමාත්‍යවරියගේ පැසසුමට

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදවා ගනිමින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ මෙන්ම ඒ වෙනුවෙන් සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජපාන විදේශ ඇමතිනි යෝකෝ කමිකාවා මහත්මියගේ ඇගයීමට ලක් විය.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපාන විදේශ අමාත්‍යවරිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වූ අතර එහිදි අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (BIA) පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සහ සැහැල්ලු දුම්රිය (LRT) ව්‍යාපෘතිය ඇතුළු ජපාන රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක, දැනට අතරමග නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති නැවත කඩිනමින් ආරම්භ කිරීම තම රජයේ අරමුණ බව ද ජපාන විදේශ අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම කඩිනමින් අත්සන් තැබීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින ජපාන විදේශ අමාත්‍ය කමිකාවා මහත්මිය, ශ්‍රී ලංකාවේ ඊට අදාළව නව නීති සම්පාදනය කරමින් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ගෙන ඇති සාධනීය පියවර ඇගයීමට ලක් කළාය.

ආර්ථික අර්බුදය හමුවේ ජපානය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දුන් සහාය පිළිබඳව සිය ස්තූතිය පිරිනැමීමටද ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කර ගත්තේය.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *