මහවැලි ගොවි ජනතාවට සුහුරු තාක්ෂණය හඳුන්වා දීමට පියවර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මීළඟ විප්ලවය වී ඇත්තේ නවීන තාක්ෂණය පදනම් කරගත් කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහා ගොවිජනතාව සූදානම් කිරීම බව වාරිමාර්ග, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ, සාම්ප්‍රදායික යල් පැන ගිය කෘෂිකර්මාන්තයට තිත තබා නවීන තාක්ෂණය පදනම් කරගත් සුහුරු කෘෂිකර්මාන්තයට ගොවි ජනතාව හැඩ ගැස්විය යුතු කාලය එළඹ ඇති බවයි.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව සඳහන් කළේ ඊයේ (28) රත්නපුර මහවැලි වලව විශේෂ බලප්‍රදේශයේ ගොවි ජනතාව සඳහා, ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපාදන මත ආරම්භ කළ ( SMART AGRICULTURE PACKAGE ) සුහුරු තාක්ෂණ භාණ්ඩ කට්ටල ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

තම ඉල්ලීම මත සුහුරු කෘෂිකර්මාන්තය හරහා මහවැලි ගොවි ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 10 ක මුදලක් ලබා දී ඇති බවත් එය මහවැලි ගොවි ජනතාව ලද ජයග්‍රහණයක් බවත් අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

අමාත්‍යවරියගේ ඉල්ලීමකට අනුව, මහවැලි කලාප ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා සුහුරු තාක්ෂණය පදනම් කරගත් කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව මඟින් ලබා දී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 10 ක මුදල් යටතේ සුහුරු තාක්ෂණ උපකරණ ප්‍රදානය කිරීම රත්නපුර ඇඹිලිපිටිය, වලව මහවැලි විශේෂ බලප්‍රදේශයේ දී පසුගියදා සිදුකෙරිණි.
එක් සුහුරු තාක්ෂණ උපකරණ කට්ටලයක වටිනාකම රුපියල් ලක්ෂ 05 ක් වන අතර එවැනි භාණ්ඩ කට්ටල 100 ක් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව මහවැලි කොට්ඨාසයේ ගොවි පවුල් 100 වෙත සංකේතාත්මකව, ප්‍රදානය කරනු ලැබීය.

මේ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ මහවැලි ගොවි පවුල් 465 ක් සඳහා සුහුරු තාක්ෂණ උපකරණ කට්ටල ප්‍රදානය කිරීමට පියවර ගෙන තිබේ.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ මහවැලි කලාප වල බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම වෙනුවෙන් වැඩි දියුණු කළ, උසස් ආරයේ කිකිළි පැටවුන් 20000 ක්, බෙදා හැරීමටද පියවර ගෙන තිබේ

ඒ අනුව වලව චන්ද්‍රිකා වැව මහවැලි කොට්ඨාසයේ දැනට කුකුළු ගොවිපළ පවත්වා ගෙන යාම සඳහා සූදානම් වී සිටින තෝරාගත් ප්‍රතිලාභීන් 41 ක් සඳහා වැඩි දියුණු කළ, උසස් ආරයේ කිකිළි පැටවුන් 50 බැගින් සංකේතාත්මකව ප්‍රදානය කිරීම ද සිදුකෙරිණි.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *