ආණ්ඩුව ගැසට් කරන්න හදන සංචාරක ගමනාන්ත 49 කොහේදැයි රටම විමසිල්ලෙන්!

ගමනාන්ත 49 සංචාරක කලාප ලෙස නම් කර ගැසට් කිරීමට කටයුතු සූදානම් – සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ!

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසීය.

සංචාරක කර්මාන්තයේ සිදුවන වංචා දූෂණ වැළැක්වීමට සහ අධීක්ෂණයට වෙනම කමිටුවක් පත් කිරීමට සැළසුම් කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

(29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය මෙසේද සඳහන් කළාය,

මෙරට සංචාරකයින්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් විවිධ පැමිණිලි ලැබෙනවා. මම පසුගිය කාලයේ මේ ගැන හඬ නැගුවා.

සංචාරකයින්ට වැඩි මිලට ආහාර ද්‍රව්‍ය විකිණීම, සංචාරක ගමනාන්ත වෙත අධික මිලට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීම සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කරන ප්‍රචාරක වීඩියෝ පට විකාශය කරමින් සිටි සංචාරකයකුට ලිංගික අතවර කිරීම වැනි විවිධ පැමිණිලි ලැබී තිබෙනවා. මෙම කටයුතු වැළැක්වීමට අප පියවර ගන්නවා. වැරදි කරන කිහිප දෙනෙකු නිසා අප රටේ කීර්ති නාමයට හානියක් වීමට ඉඩ නොදිය යුතුයි.

දුම්රිය ප්‍රවේශපත්‍ර වැඩි මිලට අලෙවි කිරීමේදී බොහෝ විට ඒවාට අනුබල දී ඇත්තේ දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකු බව පැවසිය යුතුයි. මෙම තත්ත්වය වලක්වා ගැනීම සඳහා අප මාර්ගගත ටිකට්පත් මිලදී ගැනීම ක්‍රමවත් කරමින් සිටිනවා. මෙම ක්‍රමය තවදුරටත් වැඩිදියුණු කිරීමට අප පියවර ගන්නවා. මෙවැනි උපක්‍රම හරහා දූෂණ වංචා පාලනය කළ හැකියි.

ඒ වගේම නීති විරෝධී මත්පැන් අලෙවිය නිසා අපේ රටට කෝටි ගණනක බදු ආදායමක් අහිමි වෙනවා. අපේ රට බෞද්ධ රටක් නිසා බුදු දහමට ගෞරවයක් ලෙස පොහොය දිනට සුරාසැල් වසා දැමිය යුතුයි. නමුත් ඒ දිනවලත් අපේ රටේ අය නීති විරෝධීව මත්පැන් විකුණනවා. ඒවා වළක්වන්න සිටින ඇතැම් නිලධාරීන් අල්ලස් ගන්න තැනට පත් වී සිටිනවා. කිහිප දෙනෙකුගේ දූෂිත ක්‍රියා නිසා මේ රටේ නීතිය හා සාමය ක්‍රියාත්මක කරන්න බැහැ. එවැනි වංචා දූෂණ වැළැක්වීමට සහ අධීක්ෂණයට වෙනම කමිටුවක් පත් කරන ලෙස මා යෝජනා කර තිබෙනවා.

එමෙන්ම සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා අප තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන තිබෙනවා. ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට අප කටයුතු කරනවා. මේ හරහා අපේ රටට එන සංචාරකයන් ප්‍රමාණය තවත් වැඩිකර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *