ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබු උද්ඝෝෂණයට ජල හා කඳුළු ගෑස්ප්‍රහාරයක් එල්ල විය.sfmnewslk.com


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් සායනික පුහුණුව ලබන හෝමාගම ශික්ෂණ රෝහල NSBM ආයතනයට අනියුක්ත කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණයට එරෙහිවත්, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව නමින් ආණ්ඩුව ගෙන ආ යෝජනාවට එරෙහිව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දැනට පවතින මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම උද්ඝෝෂණ ක්‍රියාමාර්ගය සංවිධානය කර තිබිණ.

විශ්වවිද්‍යාල භූමියෙන් ආරම්භ කර විජේරාම හංදිය බලා සාමකාමීව උද්ඝෝෂණ පාගමන ගමන්කළද, විශ්වවිද්‍යාලය අසල රැඳීසිටි පොලීසිය සහ කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් සිසුන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදී. එහිදී කඳුළු ගෑස් කැණිස්ටරයක් හිසේ වැදීම නිසා තුවාල ලැබූ වෛද්‍ය පීඨයේ සිසුවෙක් රෝහල් ගතකර ඇත.

ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයෙන් පසුව සිසුන් සහ ජනතාව අමතමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති බුවනෙක සහන්, මහා ශිෂ්‍ය සංගමයේ භාණ්ඩාගාරික කවිඳු මධුශාන් සහ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඉසුරු ඉඳුවර පෙරේරා අදහස් දක්වන ලදී.

එහිදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ 1981 අධ්‍යාපන ධවල පත්‍රිකාව, උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සහ SAITM හොර උපාධි කඩය අකුලා ගැනීමට පාලකයින්ට සිදුවූවා සේම හෝමාගම ශික්ෂණ රෝහල ජපුර වෛද්‍ය සිසුන්ට අහිමි කිරීමට ගන්නා උත්සාහය සහ අධ්‍යාපනය විනාශකරන ජාතික ප්‍රතිපත්ති රාමුව නම් ඊනියා ලියවිල්ල හකුළාගැනීමට මෙම පාලකයින්ට සිදුවන බවයි.

එතෙක් ඒ වෙනුවෙන් ශක්තිමත්ව සටන් කිරීමට ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස කටයුතු කරන බවද ඔවුන් අවධාරණය කර සිටියේය.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *