අරක්කු සමාගම් 5ක ලයිසන් කැන්සල් වන ලකුණු

November 13, 2024

asianewsplusone.com sfmnewslk.com

ප්‍රමුඛ මත්පැන් නිෂ්පාදකයන් 5 දෙනෙකුට සිය මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙන බව වාර්තා වේ.

මහා භාණ්ඩාගාරයේ උපදෙස් අනුව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මේ මස මුලදී නව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණේ මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන කම්හල් පහක හිඟ බදු මාසය අවසන් වන විට ගෙවන ලෙස සිහි කැඳවමිනි.

එම සමාගම් වූයේ කළුතර සිනර්ජි ඩිස්ටිලරීස්, කුරුණෑගල වයඹ ඩිස්ටිලරීස්, ෆින්ලන්ඩ් ඩිස්ටිලරීස්, සීමාසහිත හිඟුරාන ඩිස්ටිලරීස් (පෞද්ගලික) සමාගම සහ සීමාසහිත ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම, සීමාසහිත රන්දෙණිගල ඩිස්ටිලරීස් ලංකා (පෞද්ගලික) සමාගම යන සමාගම්ය.

එම සමාගම් වසර දෙකක කාලයක් සඳහා රජයට බදු ගෙවීම පැහැරහැර ඇති බව දැනුම් දී තිබිණි.

එම සමාගම් අතරින් රන්දෙණිගල ඩිස්ටිලරීස් ලංකා (පෞද්ගලික) සමාගම විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු මුදල් පසුගියදා ගෙවා ඇති අතර ඉතිරි නිෂ්පාදකයන් පස්දෙනාට එම මුදල් ගෙවන ලෙස බලධාරීන් විසින් නැවත දැනුම් දී තිබිණි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පැවසුවේ රුපියල් බිලියන 8.5ක මුළු හිඟ මුදල්වලින් වැඩිම මුදල ගෙවීමට ඇත්තේ ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගම මහා වන අතර එය රුපියල් බිලියන 5.5ක් බවයි.

මාසය අවසන් වන විට හිඟ මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් එම සමාගම්වල මත්පැන් නිෂ්පාදනය කිරීමේ බලපත්‍රය අත්හිටුවා පසුව ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *