මහනුවර ඇහැලේපොළ වලව්ව සහ භූමිය පූජා ඔප්පුවකින් ශ්‍රී දළදා මාළිගාවට පවරයි!sfmnewslk.com

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කරයි!

ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාළිගාව වෙත පවරාදීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට 2024 පෙබරවාරි19 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබ ඇති තීරණයක් පරිදි, දැනුම් දී තිබුණි.

ඒ අනුව, ඉදිරිපත් කර ඇති වාර්තාව මගින්, ඇහැලේපොළ පවුල ප්‍රමුඛ කර ගනිමින් වසර සිය ගණනකට එපිට පැවති මහනුවර රාජධානියේ ශ්‍රී විභූතිය හා එම පරිසර පසුබිම නිරූපණය වන අයුරින් මෙම ගොඩනැගිල්ල තුළ ඉටි රූප කෞතුකාගාරයක් පිහිටුවීමටත්, එමඟින් එම ඉතිහාසය පිළිබඳ තොරතුරු වර්තමාන ජන සමාජය වෙත වඩාත් ආකර්ෂණීය අයුරින් ඉදිරිපත් කිරීමට සහ දේශීය හා විදේශීය සංචාරක ආකර්ෂණය ඇති කිරීමත් අරමුණු කර ගනිමින් ශ්‍රී දළදා මාළිගාව විසින් ඇහැලේපොළ වලව්ව ආශ්‍රිතව ව්‍යාපෘතියක් සකස් කරනු ලැබ ඇත.

අදාළ ගොඩනැගිල්ල ශ්‍රී දළදා මාළිගාව වෙත පවරා දීම සුදුසු බවට ජනාධිපති ලේකම්වරයාගේ වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

ඒ අනුව, ඇහැලේපොළ වලව්ව සහ ඊට අයත් භූමිය පූජා ඔප්පුවක් මඟින් ශ්‍රී දළදා මාළිගාව වෙත පවරා දීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *