asianewsplusone.com sfmnewslk.com
නීති විරෝධී ලෙස එකලස් කර තිබෙන වාහන හා එහි පොත් ඉතා අඩු මිලකට විකිණීම සම්බන්ධයෙන් තොරතුරු පළ කර තිබෙන ෆේස්බුක් ගිණුම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවැසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය. ඒ පිළිබඳ තොරතුරු තිබෙන්නේ නම් 1997 අංකයට දැනුම්දෙන ලෙස හෙතෙම කීවේය.
“වර්තමානයේදී ෆේස්බුක් හා සමාජ මාධ්‍යයන්හි වාහන හා එහි පොත් විකිණීමට පළකර තිබෙනවා. එම ෆේස්බුක් වෙනමම අධ්‍යයනය කරලා ඒවා සම්බන්ධව විමර්ශන කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා.
ඒ ආකාරයට වාහන අත්අඩංගුවට ගෙනත් තිබෙනවා. ඉදිරියේදී විශේෂ විමර්ශන විදියට ඒවා ක්‍රියාත්මක කරනවා. ඒ නිසා තමයි දුරකතන අංකයක් පවා හඳුන්වා දුන්නේ 1997 කියලා. ෆේස්බුක් සම්බන්ධව අදාළ පොලිසිවල බුද්ධි අංශ සහ විමර්ශන නිලධාරීන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම විශේෂ අවධානයක් යොමු කරනවා නීති විරෝධී ලෙස එකලස් කර තිබෙන වාහන සම්බන්ධයෙන්.
නිසි පරිදි ලියාපදිංචි කර නොමැති හා නීතිවිරෝධී ලෙස එකලස්කරන ලද වාහන වැටලීමට රජය ක්‍රියාකිරීම නිසා සමහර පුද්ගලයන් විසින් අඩු මිලට ඒවා විකිණීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි මේ පිළිබඳව කළ විමසීමකදී පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

