ජනාධිපතිවරණය අවසන් වෙත්ම පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් අස්වැසුම දෙවන වටයේ සංගණන කටයුතු දැනට මාස දෙකක සිට නතර වී ඇතැයි තොරතුරු අනාවරණය වේ.

අස්වැසුම දෙවන අදියර සඳහා අයැදුම්පත් 455,697 ක් ලැබී තිබූ අතර, ඉන් වැඩිම අයැදුම්පත් සංඛ්‍යාවක් ලැබී ඇත්තේ වතුකරය ආශ්‍රිත නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවලිනි.

දෙවන අදියර යටතේ තොරතුරු සංගණන කටයුතු ඉකුත් ජූලි මස 31 වැනිදා අවසන් කිරීමට නියමිතව තිබිණි.

ජනාධිපතිවරණය හේතුවෙන් එම සංගණනයේ කටයුතු තාවකාලිකව නතර කළ බවත්, පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත්කර තිබීම නිසා සංගණනය තව දුරටත් ප්‍රමාද වනු ඇති බවත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආරංචිමාර්ග කියයි.

අස්වැසුම දෙවන අදියර යටතේ ප්‍රතිලාභීන් ලක්ෂ හතරකට ආසන්න සංඛ්‍යාවක් තෝරා ගැනීමට නියමිතව තිබිණි.

මේ සම්බන්ධයෙන් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න ගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ මැතිවරණය හේතුවෙන් අදාළ සමීක්ෂණ කටයුතු නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දී තිබෙන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *