ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම අප බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත්, එම මූලධර්මය ආරක්ෂා කිරීමේ වගකීම විධායකයට, ව්‍යවස්ථාදායකයට මෙන්ම අධිකරණයට ද පැවරෙන බවත් අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ පිළිබඳ කිසිවෙකුට විවාද කළ නොහැකි බව ද පැවැසීය.

එය වෙනස් කිරීමට කිසිවකුට අවශ්‍ය නම් වහාම ගොස් ව්‍යවස්ථාව වෙනස් කරන ලෙස තමා ඔවුන්ට දැනුම් දෙන බවද ජනාධිපතිවරයා කියාසිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ හෝමාගම, කිරිවත්තුඩුවේ ඉදිකෙරුණු “ගුරුදෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය” විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (01) පස්වරුවේ එක්වෙමිනි.

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ තුනම මේ රටේ බෞද්ධ ධර්මයට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු බව පිළිගැනීම අවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඊට සහයෝගය ලබා නොදී සිටීම ව්‍යවස්ථාව උල්ළංඝනය කිරීමක් බවත් ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරු බැඳී සිටින බවත් අවධාරණය කළේය.

ජනතා පරමාධිපත්‍ය, බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම සහ භෞමික අඛණ්ඩතාව සුරැකීම මෙරට ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රධාන මූලධර්ම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, අප සෑම විටම ඉදිරියට යා යුත්තේ එම මූලධර්ම ආරක්ෂා කර ගනිමින් බවත් ඊට විරුද්ධව කථා කිරීම ව්‍යවස්ථාව උල්ළංඝනය කිරීමක් බවත් අවධාරණය කළේය.

“මරණාසන්නව සිටි රෝගියාව අප දැන් ටිකෙන් ටික සුව කරගෙන යනවා. නිරන්තරයෙන් අප ඒ පිළිබඳ සාකච්ඡා කරනවා. ලෝකයේ කිසිදු රෝගියෙකු එකවර සුව වෙන්නේ නැහැ. මෙම රෝගියා සුව කිරීමට තව වසර තුන හතරක් ගත වෙනවා. නමුත් මෙම වැඩකටයුතු කරගෙන යාමට අපට අවස්ථාව ලැබී තිබෙනවා. එම වැඩපිළිවෙළ වෙනුවෙන් ගෞරවණීය මහා සංඝරත්නයෙන් ලැබෙන සහයෝගය වෙනුවෙන් පුණ්‍යානුමෝදනා සහිත ස්තූතිය පිළිගැන්විමට ද මම මෙය අවස්ථාවක් කර ගන්නවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *