එල් නිනෝ බලපෑමෙන් ශ්‍රිලංකාව ඇතුලු ලෝකෙටම නියඟයක අවදානමක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ලෝක දේශගුණික රටාවන් වෙනස් කරන ‘එල් නිනෝ’ පාරිසරික සංසිද්ධිය සක්‍රීය වෙමින් පැවතීම හේතුවෙන්, ඉදිරි ජූලි සහ අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකාවට ලැබෙන වර්ෂාපතනය බෙහෙවින් අඩු වී නියඟ තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානයට අනුව, එළඹෙන ජූනි සහ අගෝස්තු මාස අතර කාලය තුළ එල් නිනෝ තත්ත්වයක් නිර්මාණය වීමේ හැකියාව සියයට 80 කි. ඉන් අනතුරුව එය සියයට 90 දක්වා ඉහළ යා හැකි බවද එම සංවිධානය පෙන්වා දෙයි. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය  පිළිබඳව අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න ප්‍රකාශ කළේ, සාමාන්‍යයෙන් එල් නිනෝ තත්ත්වයක් මාස 9 සිට 12 දක්වා කාලයක් පවතින බවයි. ඒ අනුව මෙවර එහි බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය දක්වාම එල්ල විය හැකිය.

එමෙන්ම එළඹෙන නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි මාස වන විට මෙම තත්ත්වය ඉතා ප්‍රබල ‘එල් නිනෝ’ ව්‍යසනයක් දක්වා වර්ධනය වීමේ සියයට 40 ක පමණ වැඩි සම්භාවිතාවක් පවතින බවද ඔහු සඳහස් කළේය. එල් නිනෝ තත්ත්වයක් ඇති වුවහොත් සෞඛ්‍ය, බලශක්ති, වාරිමාර්ග, කෘෂිකර්මාන්තය මෙන්ම ජල සම්පත් කළමනාකරණය වැනි අංශ පිළිබඳව අප දැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔස්ට්‍රේලියාව, මධ්‍යම ඇමරිකාව, ඉන්දුනීසියාව සහ දකුණු ආසියාවේ ඇතැම් ප්‍රදේශවලට දැඩි නියඟයක් ද, මධ්‍යම සහ නැගෙනහිර පැසිෆික් සාගර කලාපයේ දරුණු සුළි කුණාටු ද ඇති විය හැක.

ජාත්‍යන්තර කාලගුණ ආයතන රැසක්ම පෙන්වා දෙන්නේ 2026 වසරේ දෙවන භාගයේදී ආසියානු කලාපයට දරුණු උණුසුම් සහ වියළි කාලගුණයක් උදාවනු ඇති බවයි.

ඉරාන යුද ගැටුම් හේතුවෙන් දැනටමත් පොහොර හිඟයකින් සහ ඉන්ධන මිල ඉහළ යාමෙන් පීඩා විඳින ගොවීන්ට, මෙම දේශගුණික විපර්යාසය හේතුවෙන් වගා හානි සිදුවීම හරහා කලාපීය ආහාර සැපයුමට සහ කෘෂිකර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වීමේ අවදානමක් මතුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *